කෝට්ටේ යුගයේ විසූ මහ ම පඬිරුවන තොටගමුවේ ශ්‍රී රාහුල යතිවරයාණෝ වූහ. දෙමටාන නම් ගම ස්කන්ධාචාර හෙවත් කඳවුරු කුලයට අයත් ව ඉපිද සයවැනි පැරකුම් රජුගේ පුත් තනතුරේ හැදී වැඩී ඇත. නමින් ජයබා කුමරුය. උන් හවන්සේ ම සිය අපවත්වීම කලින් ලියා තිබුණේ යැයි සැලකෙන තඹ සන්නසක තිබූ කවි දෙකකින් මේ තොරතුරු හෙළිවිය.
"කඳ කුමර වර ලද
සිදු අලු රස වැළඳ තෙද
දස ලක් දිනා ලද
රහල් හිමි නැඟූ මෙදියැ දිය දද"
"නිරිඳු බුවනෙකබා
බලය තෙවිටක් පසුබා
මර යුදයට නොබා
මම ය පැරකුම් රජුගේ ජයබා"
මෙතුමා ජයබාහු හෙවත් වීරසුන්දර නමින් උපත ලබන්නේ ක්‍රි.ව.1408 පමණය. දෙමටාන ගම වික්‍රමබාහු කුමාරයා පියා ලෙසත් කීරවැල්ලේ කුමරිය මව ලෙසත් සැලකේ. පසුව පියා මිය ගිය බවත් සඳහන්ය. තව තැනෙක පැනෙන්නේ මව මියගිය බවත් මවගේ නැගණියගේ ආරක්ෂාව යටතේ සැදී වැඩුණු බවත්, පසුව ඇය රජුගේ අග බිසව වූ නිසා ජයබා කුමරුද රාජ මාළිගයට පැමිණ සවන පැරකුම් රජුගේ දරුවෙකු ලෙස හැදී වැඩුණු බවත්ය. "හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ" යන වත්මන් ගැමි උපහැරණය පසක් කරමින් ඉතා කුඩා ජයබා කුමරු පැරකුම් රජුට කවියක් කී බවත්, ඉන් රජු වඩාත් පැහැදුණු බවත් කියවේ. එම පද්‍යය මෙසේය.
"මා වැනි බිළින් දා - වර වර ළගට කැන්දා
දුක් සැප කුමන් දා - අසන නිරිදෝ වෙන කොයින්දා"
කඳවුරු තුල උපන් බව තමන් වහන්සේ ම පරෙවි සන්දේශයේ සඳහන් කළහ.
කඳවුරු තුල උපන් රැඳි තොටගමු පියෙස
සෙද දත් සියල් කවි නළු මහ දා සතු බස
කඳ කුමරුන් වර ලද පසළොස් වයස
වද හළ රහල් වැඩි තැන් කලරැව් සඳෙස
- පරෙවි සන්දේශය
කාව්‍යශේඛරය නම් හෙළ මහා කාව්‍යයේ ද තමන් වහන්සේ ගැන මෙසේ සඳහනි.
තුලග මිනි පිවිතුරු - දෙමටාන ගමැ කඳවුරු
තොටගමු වැසි සොඳුරු - උතුරු මුළ මහ තෙරිඳු මුනුබුරු
සව්සත කෙළ පැමිණි - ගුරුවන් දෙරණ සපැමිණි
පිරිසිදු සිල් ගිහිණි - සියල් ලොව වියතුනට සිළුමිණි
තෙවලා දැන යෙහෙන - දස අත යෙහෙන් හොබවන
විජයබා පිරුවන - කියන මේ බණ අසව් සතොසින
- කාව්‍යශේඛරය
උතුරු මුළ මහ තෙරිඳුන්ගේ මුනුබුරෙකු වූ ජයබා කුමරු රාජගුරු වීදාගම මහ තෙරිඳුන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පිවිසෙයි. උතුරු මුළ මහ තෙරිඳුන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වනරතන හිමියන් මෙතුමාගේ ගුරුවරයා ලෙස ද සමහරු සලකති. ජය බා කුමරුවෝ සිය පසළොස්වැනි විය පසුවත්ම භාෂා සයක පාරප්‍රාප්ත වීමට තරම් යුහුසුළු වූහ. සංස්කෘත, මාගට්, ප්‍රාකෘත, පෛශාවි, අපභ්‍රංශ ශෞරසේනි යන භාෂා දත් නිසා ෂට් භාෂා පරමේශ්වර වූහ. අතඹුලක් සේ ත්‍රිපිටක ධර්මය පසක් කළ නිසා ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය වූහ. මහා යතිවරයාණ නමක් වත් ම තොටගමුවේ විජයබා පිරිවෙන්හි අධිපතිත්වය ද රාජගුරු පදවිය ද ලැබූහ. ගිරා සන්දේශයේ දී කෙරෙන වර්ණනයෙන් එදා උන් වහන්සේ කෙරෙහි වියතුන් දැක් වූ ආදර භක්තිය හා ගෞරවය මොනවට පැහැදිලි වෙයි.
"ගැඹුරු විජම් පෙළ කිරි සයුර ඇම විට
සොඳුරු නුවණ මෙර පහරින් සකොබ කොට
මියුරු පද අරුත් අම ගෙන දෙන ලොවට
කවුරු සදිසි වෙති මෙ කලට එ යතිඳුට"
"නිවට කසුබු ඉසි සුරගුරු මෙන් පබඳ
ලොවට කලණ ඒ යති සඳුගේ නොමඳ
සුමට වදන් දුල විසිතුරු මහ මුහුද
දසට පොරණ රළ පතරින් පිරි නිබඳ"
"සිල් සෙනඟහු යස සෙමරහු මෙන් සතහු
ගුණ බරණහු දම් කිරුළහු නැණ කගහු
බුන් නරඟහු කව තෙදණහු සිරි රජ හු
සුර ඇදුරහු හැර කවරහු වනති ඔහු"
- ගිරා සන්දේශය
සැළලිහිනි සන්දේශ පුරාණ ව්‍යාඛ්‍යානයෙහි අවසන එන පද්‍යත්‍රයෙන් ද මුන් වහන්සේ ගැන කියවේ. ඉන් එකක් උපුටා දක්වමි.
කඳවුරු තුල මැඳුර මිණි පහනෙව් සුසැදී
නැණගුරු සබස සමය ද දැනුමෙන් වොරැදි
රජගුරු විජයබා පිරුවන් හිමි පැහැද
මෙ මියුරු පදැති සැළලිහිණිය අස්න යෙදී
ප්‍රවෘජ්‍යා භූමියට පත් වුව ද තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ රාජ්‍ය අනුශාසකයාව සිටීමේ අභිලාසය අත් නොහෑරී බව පෙනේ. පරෙවි සහ සැළලිහිණි සන්දේශවලින් කෙරෙන ඉල්ලීම ඊට කදිම නිදසුන්ය.
පරෙවියෙන් කියවෙන්නේ තම සොයුරියක වන චන්ද්‍රවතී කුමරියට සුදුසු සැමියකු හා පුත්රුවනක් ලබා දෙන ලෙස උපුල්වන් දෙවියන්ගෙන් ඉල්ලා සිටීමකි.
සඳවත් නමින් යුත් - රජු දූ ළඳට සිරිබර
නොලසා සමුව මෙන් දෙවි සෙන් වඩන රුති
සලසා සරි කුලෙන් හිමියකු රූ පිනැති
මෙත් කැරැ මෙලක රකිනා දැරුමෙන් කිරුළු
පුත් රුවනක් දෙන ලෙස අයදින් යහළු
- 203 පරෙවි සන්දේශය
ජයබාහු නම් කුමරෙකු ලැබීමෙන් මේ ආයාචනය ඉටුවෙයි. සවන පැරකුම් රජුගේ ඇවෑමෙන් රජ වන ජයබාහු රජු යාපනය රජු යාපනය කළ සපුමල් කුමරු අතින් මරුමුවට පත් වෙයි. සිය උත්සාහයන් අසාර්ථක වූයෙන් රාජ්‍ය සෙවණෙන් මිදී හුදකලා වන උන්වහන්සේ අම්බන ගල්ලෙනෙහි වැඩ සිට අපවත් වූ බව කියවේ. සිද්ධාලෝක රසය වළඳා සිටි නිසා කුණු නොවූ උන් වහන්සේගේ සිරුර පෘතුගීසීන්ට හමුවී ගෝවයට ගෙන ගිය බව සඳහන් වේ. ඒ බැව් ස්ඵූට කෙරෙන ජනකවියක් ද ව්‍යවහාරයේ පවතී.
"සතුරු සිංහල සාවියර් සෙන් පතිහු යුදයට පත් වතාවේ
ඉඳුරු ගල ගල් ලෙනේ යක්සෙන් අරත් ගනිමින් තුබූ මනාවේ
අතුරු අනතුරු දහස් ගණනක් පවතිනුව කළ මතුරු ජීවේ
මහරු රාහුල තෙරිඳුගේ මළ සිරුර ගෙන ගොස් තැබිය ගොවේ"
මේ මහා පඬිරුවන දායාද කළ ප්‍රධාන ග්‍රන්ථ 5 කි. එනම්
1. පරෙවි සන්දේශය
2. කාව්‍යශේඛරය
3. සැළලිහිණි සන්දේශය
4. පඤ්චිකාප්‍රදීපය
5. බුද්ධිප්පසාදිනී පද සාධන ටිකාව
පරෙවි සන්දේශය :-
ක්‍රි.ව. 1426-1427 අතර ලියවුණකි. "කලරැවු සඳෙස" නමින් ප්‍රකටය. රාජ දූහිතා චන්ද්‍රවතියට සුදුසු කුලයකින් සැමියෙකු ලබාදෙන ලෙස දෙවිනුවර උපුල්වන් දෙවියන්ගෙන් යැදීම මුඛ්‍යාර්ථය වූ අතර රාජ, යුවරාජ, ඇමැති, මැති ගණයා ආරක්ෂා කරවා ගැනීම ද අපේක්ෂාවන් විය. ජයවර්ධනපුරයේ සිට දෙවිනුවර දක්වා ගමන් මග සැලසෙන මෙහි පද්‍ය 208 කි. අපරිණත කාව්‍ය ලක්ෂණ පෙන්වන සංස්කෘත කාව්‍යයන්ගෙන් ආභාසයන් ලත් මෙම කාව්‍ය ශ්‍රී රාහුල හිමියන්ගේ තරුණ කාලයේ රචනා වූවකි. පහත කවිය ඒ අපරිණත බවට නිදසුනකි.
රත් සර කැකුළකට තුඩු දී හසෙකු මොළ
සිත් සන්තොෂින් සෙද විදහා පුබුදු කළ
පත් නූ අනඟ රස අඟනකට කර ලොළ
මත් සළෙලෙකු ගියා වැනි අචල කෙළි කෙළ
(පරෙවි සන්දේශය-103 පිටුව)
ශෘංගාරාත්මක පද්‍ය බන්ධන ද අඩුවක් නොමැති බවට,
"මනහර පුළුලුකුළු පියොවුරු බරන් දැක
මෙහෙවර සියුම් බඹ නොසහළ වතැයි සැක
හැමවර ඟනන් මැද පෙදෙසින් නොලැම සත
පුරතුර සරණ සළෙළුන් බලසකි නොයෙක"
(පරෙවි සන්දේශය-12 පද්‍යය)
කාව්‍යශේඛරය :
සංස්කෘත මහා කාව්‍ය සම්ප්‍රදායට අනුගතව පන්සිය පණස් ජාතක කථා පොතේ එන සත්තුහත්ත ජාතකය මුල්කොට ගෙන සර්ග බන්ධන සහිත කාව්‍ය අටසියයකට අධික ගණනක් යොදා නිර්මාණය කළ අති විශිෂ්ට කෘතියකි, කාව්‍යශේඛරය. මෙතෙක් වෙනෙකත් දක්නා නොලැබේ. ලෝකනාථා නම් රාජ දුහිතෘන්ගේ ආරාධනයෙන් කව්සිළුමිණි ආභාසයෙන් සකු සාහිත නැණ පසක් කරමින් ලියවුණු මේ මහා කාව්‍යය හෙළ සාහිත අඹර දිදුලන තරුවක්මය. කාව්‍ය ප්‍රතිභාව උත්කෘෂ්ට වර්ණනා මතු ද නොව භාෂා නෛපුණ්‍ය ද මෙමගින් සංකේතවත් කරති.
"අප බමුණ ගම්වැසි - මඟ රැඳුණ අද තෝ නසී
ගෙට ගිය අඹුව නසී - අතුරුදන් වී කියා මේ ලෙසි
තමලු වරලස නිලුපුලන් නෙත් සුරත් බිඹු පල ලවනතේ
තඹර වන කොඳ දසන් මඳනල සුසුම් තඹපලු කොමළතේ
තිසර පියොවුරු බිඟුවසා රොද තනා රඹ වටොරින් යුතේ
මත කොවුල් සර පිය තෙපුල් දෙන එවන දිවි වන් දිගු නෙතේ
සැළලිහිණි සන්දේශය :
ලෝකනාථා හෙවත් උලකුඩය දේවියට සොඳ පුත් රුවනක් ලබා දෙන ලෙස ආයාචනය කර, කැලණියේ විභීෂණ දෙවියන් වෙත සැළලිහිණියෙකු අත යවන පණිවුඩයක් මෙහි දැක්වේ. තොටගමුවේ ශ්‍රී සංඝරාජ මාහිමියාණන්ගේ පැසුණු බුද්ධිය, ප්‍රතිභා මහත්වය කියාපාන සන්දේශයකි. ශබ්ද හා අර්ථ මාධූර්ය සම්පන්න සංක්‍ෂිප්ත, සරල, සුගම, රසවත්, මටසිලිටි, උසස් රසාස්වාදනීය, තාත්වික වර්ණනාවෙන් උපලක්ෂිත කාව්‍යයකි. පද්‍ය 108 කින් යුත් කෙටීම ගමන් මග සහිත අස්නයි. අනවශ්‍ය යැයි හැඟෙන එකඳු වර්ණනාවක්වත් නොමැති සැළලිහිණිය, මහාකවි කාලිදාසයන්ගේ මේඝදූතය භාරතීයයන් අගය කරන්නේ යම් සේ ද, ශ්‍රී ලාංකිකයනට ද එසේ අගය කළ හැකිය.
පඤ්චිතා ප්‍රදීපය :
සැළලිහිණියෙන් අනතුරු රහල් හිමි විසින් කරනු ලබන්නේ පංචිතා ප්‍රදීපයයි. පැරකුම් රජුගේ රාජ්‍යොදයෙන් සතළිස් පස්වන වසරෙහි ලියවෙන මේ ග්‍රන්ථයේ රාහුල හිමිගේ පාණ්ඩිත්වය හා ශාබ්දිකත්වය එක ලෙස ප්‍රකට කෙරේ. පංචිතා ප්‍රදීපය පුලස්ති පුරයේ රජකළ පැරකුම් රජ දවස අනුරපුරයෙහි වැඩ විසූ මොග්ගල්ලාන මාහිමියන් විසින් ලියන ලද පංචිතා පාලි වියරණ ග්‍රන්ථයට සැපයූ ටිකාවක් වශයෙන් සැලකිය හැක.
බුද්ධිප්පසාදිනී නම් පද සාධන ටිකාව
රාහුල හිමිගේ අවසාන ග්‍රන්ථය ලෙස පැරකුම් රජුගේ අභාවයෙන් පසුව කරන ලදැයි සිතිය හැකි "බුද්ධි ප්‍රසාදිනී" නම් පාලි ටිකාව දැක්විය හැක. රාජ ඇසුරෙහි හිඳ ශාසනික කර්තව්‍යයන්ගේ ප්‍රමුඛත්වය ගත් රාහුල හිමි පැරකුම් රජුගේ අභාවයෙන් පසු රජ මැදුරේ ඇසුර අත්හළ බව පෙනී යයි.
වීර ප්‍රසිද්ධ වෑත්තෑවේ හිමි ශ්‍රී රාමචන්ද්‍ර බ්‍රාහ්මණ වැනි පඬිවරුන්ගේත් ගුරු වූ ෂඩ්භාෂා පරමේෂ්වර ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය රාජගුරු තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජයාණන් වහන්සේ,
"සුර ඇදුරහු හැර කවරහු වනති ඔහු"
අද දවස ප්‍රාමාණික බුද්ධිමතෙකු වූ මුනිදාස කුමාරතුංගයෝ සිය සැළලිහිණි විවිරණයේ දී කෙරෙන හැඳින්වීම වුව ද නොසෑහේ.
"මෙබඳු කාලයෙකැ පණ්ඩිතයන් අතරැ සාම්‍රාප්තියට බුද්ධි මහිමයෙනුදු රාජ සම්මානයෙනුදු රහල් හිමියෝ අත්‍යර්ථයෙන් ප්‍රමාණ වූහ. ඔවුන්ගේ ෂඩි භාෂා පරමේශ්වරත්වය ද ත්‍රිපිටක වාගීශ්වරත්වය ද, සමකාලීන පණ්ඩිතයෝ මැ කීර්තනය කොළෝ. ඒ වර්ණ කථනය අධික නොවන බවට රහල් හිමියන්ගේ ග්‍රන්ථයෝ මතු සාක්ෂ්‍ය දරති. ව්‍යාකරණ කාරයනට ද වඩා ඔහු ඒ ශාස්ත්‍රයෙහි නිපුණ වූහ.
පුරාණෝතිහාසයන්ගේ පරතෙරට ගියහ. නොකැරුණා වූ ද තර්ක න්‍යායන්ට ස්ව බුද්ධියෙහි අවකාශ කළහ. තත්කාල ප්‍රවෘත්ති කාව්‍යයන්ගේ අර්ථ තත් කාව්‍ය කර්තෘනට ද වඩා මැනවින් මෙනෙවි කළහ. සෙස්ස තබා පඤ්චිකාප්‍රදීපයම ඔවුන්ගේ අනුපම ග්‍රන්ථ ස්මරණ ශක්තිය ප්‍රකාශ කෙරේ.
(සැළලිහිණි විවරණය - මුනිදාස කුමාරතුංග)