සන්දේශයක් යනු
 

මනාකොට කියයි මනාකොට දකියි යන අර්ථයෙන් "සංදිශ්‍යති" පදය භාවිත වෙයි. එහි නිරුක්තිය වන්නේ සං+දිශ් යන්නයි. "විසංදේශ" යන්න ඉන් බිදී ආවකැයි සැලකේ. නමාකොට දක්වාලීම මනෝඥ ලෙස ප්‍රකාශ කිරීම යනු ඉන් විශදවන අර්ථයයි. වැලිවිටියේ සෝරත හිමියන්ගේ ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයේ දී අර්ථ දක්වන්නේ "ලියමන, පණිවුඩය, දැන්වීම, ආරංචිය, ප්‍රවෘත්තිය, තොරතුරු, නියමය" යනුවෙනි. "සන්දේශ" යන වචනය මානාවුලු සන්දේශයේදී (පාලි) ප්‍රථමයෙන් හමු වුව ද, එම අර්ථයෙන් පැනෙන හස්න, අස්න, හස්න, සඳෙස යන ව්‍යවහාර නිතර හමු වේ. සද්ධර්මාරත්නාවලියේ මෙන් ම පන්සිය පණස් ජාතක පොතේ කීප අවස්ථාවක "සන්දේශ" යන්න යෙදේ.

"සුත්වාන සන්දේශ මුළාර පීත" - (පාලි මානාවුලු සන්දේශය-57 පිටුව)
"කාෂ්ටවාහන රජ්ජුරුවෝ ඒ සන්දේශ පත්‍රය බලා දැක - (සද්ධර්මරත්නාවලිය)
"සුතසෝම රජ්ජුරුවන්ට සන්දේශ යැවුන" - (පන්සිය පනස් ජාති පොත)
"මෙබඳු නමින් සැලසී තිසර සන්දෙස" - (තිසර සන්දේශය- 101පිටුව)

සන්දේශ යන්නට හසුන්, සඳෙස, අස්න යනුවෙන් යෙදී ඇති අවස්ථා කීපයකි.

"දෙවි මෙහෙසුන් සව්සිරි මතු විපුල් වන" - (මයුර සන්දේශය - 04 පිටුව)
"මෙම සුරු මියුරු සදෙසය කළ රස සපිරු" - (මයුර සන්දේශය - 174)

" ම මිතුර එම්බා දන්වව මේ අස්න" – (තිසර සන්දේශය - 06)

අනුරාධපුර යුගයේ මැද භාගයේ දී ද සන්දේශ සාහිත්‍යය පිළිබඳ යම් අදහසක් තිබූ බවට, දඹදෙණි රාජ්‍ය යුගයේ දී රචිත "සිදත් සඟරාව නම්" සිංහල ව්‍යාකරණ ග්‍රන්ථයේ එන ව්‍යාකරණ රීතිවලට දුන් නිදසුන්වලින් අනුමාන කෙරේ.

"මොනරිඳු එකල්හි පුල් සල'ග නවා ගනී" - (සිදත් සඟරාව)
"කලවන් බිගු මහත් වන හිරු හත්වත" - (සිදත් සඟරාව)

මේ අනුව පුරාණ මියුරු සන්දේශයේ හා (බිගු) බමර සන්දේශයක් ගැන අදහස් ඡායාවක් වත් මතුවේ. එසේ වුව ද විද්‍යාමාන ග්‍රන්ථ හමු නොවේ.

සිංහල සන්දේශ පිළිබඳ සාන්දෘෂ්ට සාක්ෂි පැනෙන්නේ ගම්පළ රාජ්‍ය යුගයේ 5 වැනි බුවනෙකබා රාජ්‍ය සමයේ (ක්‍රි.ව.1389-1390) දීය. ඒ මයුර හා තිසර සන්දේශ රචනය නිසාය.

ශ්‍රී ලංකා සන්දේශ රචනයේ සමාරම්භය සිදුවන්නේ භාරතීය සන්දේශාභාසයෙනි. දක්ෂිණ භාරතයේ මෙන්ම උත්තර භාරතයේ ද මෙම සාහිත්‍යාංගය ප්‍රචලිත වූ අතර නම් කෙරෙන්නේ "දූත කාව්‍ය" වශයෙනි. ඒ උත්තර භාරතයේ යි. දක්ෂිණ භාරතයේ දී මෙය "සන්දේශ" නම් විය. කවීන් විසින් භාවිත කෙරුණු විවිධ වෘත්ත විමසා බැලුවොත් පෙනෙන්නේ ද්‍රවිඩ ආභාෂය ද ලද බවයි. එසේ වුව ද මේ සාහිත්‍යාංගය අපේ රසිකයන්ට නුහුරු දෙයක් නුවූ බව 8,9,10 වැනි සියවස්වල රචිත සීගිරි ගී දෙස් දෙයි. සිරිනාග නැමැත්තා කැටපත් පවුරේ කෙටූ මේ ගීය ඒ අදහස තහවුරු කරයි.

"වන්දීම් හිමි වලා - තොගොසින් ඇය නිවෙස්නට

පිරිබුන් පගා මලයුන - දිවොට තො හදනව කිය කියයි"
                                      -(දෙමළ)

භාරතීය මහා කවි කාලිදාසයන්ගේ "මේඝ දූතය" ඇසුරු කර ඇති බවට මේ හොඳම නිදසුනකි. පණිවුඩ හුවමාරුව, අත්‍යවශ්‍ය වූ සමාජමය සන්නිවේදන කාර්යයකි. මිනිස් සංහතියේ ආරම්භයත් සමඟ සිදු වූ මෙහි ප්‍රාථමික අවධිය පුද්ගලාන්තර සන්නිවේදනයයි. තදනන්තරව ඒ සඳහා විවිධ පක්ෂීන් සිවුපාවුන් යොදා ගැනිණ. මේ පිළිබඳ කියවෙන පැරණිතම අවස්ථාව සෘග්වේද සාහිත්‍යයයි. එහි එන එක්තරා පුවතක දූතයා වන්නේ "සරමා" නම් බැල්ලකි. (සෘග් වේදය - සුක්තය-සුක්තය 108)

ලක්දිව සඟවාගෙන සිටි සීතා කුමරිය වෙත රාම කුමරුගේ පිණිවුඩය රැගෙන එන්නේ "හනුනා" (හනුමන්) නම් වඳුරෙකි.

                                                                                     - (රාමායනය-412)

භාරතීය "නලෝපාඛ්‍යානයෙහි" එන නල-දමයන්ති ප්‍රේම වෘත්තාන්තයේ දූතයා ධවල හංසරාජයෙකි. පන්සිය පණස් ජාතක පොතේ උම්මග්ග ජාතකයේ එන මහෞෂධ පණ්ඩිතයන්ගේ දූත මෙහෙවරෙහි යෙදුණේ ගිරා (සුව) පෝතකයෙකි. "කාමවිලාප" නම් ජාතක කථාවේ "කපුටෙක්" ද භූරිදත්ත ජාතකයේ "කැස්බෑවෙක්" ද මෙම දූත මෙහෙවරෙහි යෙදී ඇත. කාලිදාසයන්ගේ මේඝ දූතයේ දූතයා වළාකුළකි. චීන ජාතික ෂූකාන් පරිවර්තනය කළ ප්‍රඥාමූල ශාස්ත්‍ර ටිකාවේ (ක්‍රි.ව.196-221) ද, කාලිදාසයන්ට සමකාලීන ඝටකර්පගේ "යමක" කාව්‍යයේ ද, භවභූතිගේ මාලතීමාධවයෙහි" මාධව මාලතියට පණිවුඩ යවන්නේ ද වළාකුළක් දූතයා කරගනිමිනි.

දැනට විද්‍යාමාන "මේඝදූතය" නම් සංස්කෘත සන්දේශ කාව්‍ය අභාසයට ගනිමින් රචිත සංස්කෘත සන්දේශ රාශියකි. ඉන් කීපයක් මෙසේය.

රූපගෝ ස්වාමීන්ගේ - හංස දූතය
ධෝසි කවීන්ගේ - පවන දූතය
කෘෂ්ණනාථගේ - වාත දූතය
විෂ්ණුදාස්ගේ - මනෝදූතය
වාදිචන්ද්‍රගේ - පවන දූතය
සාර්ව භෞමගේ - පදාංකදූතය
වෙන්කටාචාර්යගේ - හංස සන්දේශය
උද්දණ්ඩගේ - කෝකිල සන්දේශය

සංස්කෘත ආලංකාරියන් විසින් සන්දේශ නමින් සාහිත්‍යංගයක්, ඊට ම ආවේණික වූ නීතිරීති සමුදායක් ද සමඟ පණ්ඩිත සම්මානයට භාජන කෙරුණු අතර පශ්චාත්කාලීන සිංහල සන්දේශාවලිය කෙරෙහි ද ඒවා සෘජුව බලපෑම් කර ඇත.
ලක්දිව ප්‍රථම සන්දේශ කාව්‍යයක් ලෙස සැලකෙන පාලි මානාවුලු සන්දේශය (රාමඤ්ඤ සන්දේශය) රචනා වන්නේ පොළොන්නරු යුගයේ දී ය. බුරුම රට අරිමද්දන පුරයට නුදුරු විහාරස්ථානයක වැඩසිටි සංඝරක්ෂිත කාශ්‍යප නම් තෙරනමක් වෙත යැවුනකි. එය යවන්නේ මානාවුලු පුර රම්හා විහාරයේ නාගසේන නම් තෙරනමකගේ අතවැසි භික්ෂුවක් අතය.

මෙය පාලි භාෂාවෙන් රචනා වූ සත්‍ය වශයෙන් ම යැවුනක් ලෙස ප්‍රකටය. දැතිගම්පුර විසූ පැරකුම් රජුට ආසිරි පතා විභීෂණ දෙවියන්ට කළ ආයාචනයක් ලෙස ගතාරා උප තපස්වීන් විසින් රචනා කෙරුණු "වෘත්තමාලා ශතකය" ද සන්දේශ ලක්ෂණ ප්‍රකට කරන්නකි. අනුරාධපුර යුගයේ මැදභාගයේ රචනා කරන්නට ඇතැයි සැලකෙන, එහෙත් දැනට ග්‍රන්ථ වශෙයන් විද්‍යාමාන නොවන පුරාණ මියුරු හා බිගු (බමර) සඳෙස් දෙකක් ගැන ද චිචාරක අදහස් යොමුව පවතී. සිදත් සඟරා වැකි දෙකක් ඊට සාක්ෂි ලෙස ගෙනහැරපායි.

දැනට ග්‍රන්ථ වශයෙන් විද්‍යාමානව පවතින පූරාණ ම සිංහල සන්දේශ කෘති දෙකකි. ඒ මයුර හා තිසර සන්දේශයන් ය. මෙයින් පළමු සඳෙස කුමක්දැයි නිශ්චිතව සඳහනක් කරනු දුෂ්කරය. මේ වනවිට කාව්‍ය ක්‍ෂේත්‍රයෙහි යම් යම් විපරිනාමයන් සිදු වූ බව නම් පෙනෙයි.

* ගී කාව්‍ය එළිසම සිව්පද කාව්‍ය බවට සකස් වීම
* භාෂාවේ සිදුවන විවිධ වෙනස්වීම්
* කාව්‍ය විෂයය තුළ සිදු වු නව ප්‍රවණතා
* යස ඉසුරු අපේක්ෂාවෙන් ප්‍රභූන් උදෙසා කාව්‍ය රචනය

ආකෘතිකමය හා පරමාර්ථමය විවිධතා යනාදිය ඒ අතර ප්‍රමුඛය. ගම්පළ රාජ්‍ය යුගයේ දී එළිදකින මෙම සන්දේශ ද්වයට පසුව, දියුණු සන්දේශ සාහිත්‍ය යුගය වන්නේ කෝට්ටේ ජයවර්ධනපුර යුගයයි. මේ යුගයේ.

1. පරෙවි සන්දේශය
2. ගිරා සන්දේශය
3. හංස සන්දේශය
4. සැළලිහිණි සන්දේශය
5. කොවුල් සන්දේශය යන

පංච මහා සන්දේශයන් සිංහල සාහිත්‍යාවලියට එක් වෙයි. සීතාවක යුගය වනවිට "සැවුල් අස්න" අලගියවන්න මොහොට්ටාල විසින් රචනා කෙරෙයි. එතැන් සිට මාතර සාහිත්‍ය යුගය දක්වා ම සන්දේශ රචනා වුවද ඒවා සම්භාවනාවට පාත්‍ර වූ ඒවා නොවේ.

කහ කුරුලු, කැටකිරිලි, නීල කොබෝ, දිය සැවුල්, කිරල, නාරිසන්, අෂ්ටනාරි, තිසර, මියුරු, මඟ සලකුණු, වැල්ලේ ආදී සන්දේශ මේ අතර දක්නට ලැබේ. ඊටත් වඩා පරිහානි ලක්ෂණ පෙන්නුම් කෙරෙන, හුදු පෞද්ගලික අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් රචිත උපහාසය, අපහාසය, හාස්‍යය පෙරටු කොටගත් සන්දේශ නමින් හැඳින් වූ ග්‍රන්ථ රාශියක් ද රචනා විය. විල් ලිහිණි, නිල් ලිහිණි, ආරච්චි, තෙල් ඌරු, හීරලු, වැහි ලිහිණි, මිපා, කොස්වාලිහිණි, ගිනි සැවුල්, ගොන් කවඩි, සමනළ, වටු, කිරළ, කොකැටු කුමාරි, මල් කවුඩු, තුරඟ, බේබදු, ඔපිසර, සුරාසොඩ, බලුදූත ආදී ග්‍රන්ථ එයට කදිම සාක්ෂිය. මේ සියල්ල අතුරින් ශ්‍රේෂ්ඨත්වයෙහි ලා සැලකෙන සන්දේශ අටකි. එනම්

1. මයුර සන්දේශය (මියුරු සඳෙස)
2. තිසර සන්දේශය (තිසර සඳෙස)
3. පරෙවි සන්දේශය (කලරැව් සඳෙස)
4. සැළලිහිණි සන්දේශය (සැළලිහිණි සඳෙස)
5. ගිරා සන්දේශය (ගිරා සඳෙස)
6. හංස සන්දේශය (හස සඳෙස)
7. කෝකිල සන්දේශය (කොවුල් සඳෙස)
8. සැවුල් සන්දේශය (සැවුල් සඳෙස)

(c) Shilpa Sayura Foundation 2006-2017