සැළලිහිණි කවියාගේ කවීත්වය හා වර්ණනා චාතුර්යය ඇගයීමට ලක් කරන්න.
* සැළලිහිණි කතුවර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වූ කලී විශිෂ්ට කවීත්වයක් ඇති අසහාය පඬිරුවනකි. සැළලිහිණිය රසාකරයක් වන්නේ රහල් හිමියන්ගේ දුලබ කවීත්වය නමැති කෝවෙහි බහාලු හෙයිනි. රහල් හිමියන්ගේ විස්මිත කවි ගැන පැවසිය යුතු කරුණු කිහිපයකි.
1. සැළලිහිණි කවියා කවීත්වය සහජයෙන් උරුම කොට ගත්තෙකි. උන්වහන්සේ හා කෝට්ටේ රාජධානියේ සාහිත්යික පරිසරය හා බැඳුණු ජනප්‍රවාද මේ බව සනාථ කරයි.
2. කවියා පහළොස් වන විය තරම් භද්‍ර යෞවන වයසේ දී සරසවි වරම් ලද්දෙකි. එ වන් වර ලබන්නට තරම් උන්වහන්සේ තුළ අසහාය කවීත්වයක්, කාව්‍ය ප්‍රබන්ධය පිළිබඳ අසහාය දැනුම් සම්භාරයක් තිබෙන්නට ඇත.
3. කවියා පෙර නොවූ විරූ දේ නිර්මාණය කිරීමෙහි ඇති වාසනා ගුණය. එනම් ප්‍රතිභා ශක්තිය ඇත්තෙකි. එය ජීවිත පරිඥානයෙන් හා පරිකල්පන හැකියාවෙන් පෝෂණය වූවකි.
4. රහල් හිමියන්ගේ කවීත්වය කුළු ගැන් වූ තවත් හේතුවකි. ව්‍යුත්පත්ති ගුණය, පොතපත පරිශීලනයෙන් හා ජීවිතානුභූතීන් ඇසුරෙහි ලැබූ අධ්‍යයනය කවියා තුළින් මනාව විශද වේ.
5. කාව්‍යකරණයෙහි තත්පරව සිටීම නැතහොත් කුඩා කළ සිටම නිබඳ කාව්‍යකරණයෙහි යෙදීම එ නම් සතතාභ්‍යාසය කවියාගේ කවීත්වයට දෙස් දෙයි.
6. නිර්මාණකරණයෙහි හා ජීවිතයෙහි පරිණත භාව කවියාගේ කවීත්වයට හේතු වන්නට ඇත. සැළලිහිණියට පෙර මහා කාව්‍යයක් ඇතුළුව පද්‍ය දහසකට අධික ප්‍රමාණයක් රචනා කොට සිටීමත් ජීවිතයේ මැදි වයස ගෙවමින් සිටි නිසාත් පරිණත කවීත්වයක් කවියා තුළ වගා වන්නට ඇත.
7. සැළලිහිණිය සම්බන්ධයෙන් කිව යුතු වැදගත් කරුණකි. එනම් කවියාගේ සෙසු පද්‍ය කෘති වන පරෙවි සන්දේශය, කාව්‍යශේඛරය හා සසඳන කල විශිෂ්ටතම කවීත්වයක් දක්නා ලැබෙන්නේ සැළලිහිණි සන්දේශයෙහි ය.
* සැළලිහිණි කවියාගේ කවීත්වය ප්‍රකට කෙරෙන ලක්ෂණ කිහිපයකි.
1. වස්තු වෛචිත්‍රයයෙහි හෙවත් වර්ණනා වස්තු විසිතුරු කොට දැක්වීමෙහි ලා කවියා විශේෂ කුශලතාවක් පළ කරයි. මේ වස්තු විචිත්‍රකරණය නිසා කාව්‍යමය චින්තාවන් සුදීප්ත කාව්‍ය චිත්‍ර බවට පත් වෙයි.
- පුල් මල් කෙසරු මෙන් - රන්වනි තෙලෙ සරණ යුග (2)
- තරසර හිවිමහල් මෙහි පහපෙළ නිතොර (12)
- පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින් (21)
- වදිමින් සවස නල හැසිරෙන දිගතුවල (48)
2. කවියාගේ කවීත්වය ප්‍රකාශ වන තවත් ලක්ෂණයකි, ඖවිත්‍ය ගුණය. කවියා භාවිත කරන්නේ කාව්‍යයේ ශරීරය හා ආත්මය විසින් ඉල්ලා සිටින දේ මිස හුදු අර්ථ විරහිත දොස් සහිත යෙදුම් නොවේ.
- ගන වන් මියුරු නද දෙන ගුවන වන් විට (6)
- ලොවැ විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදි (17)
- උදාගිර කසුන් රිටි වැට හිස බැබළී (24)
- සුරරද සමන් සමඟින් සුරඟන එවර (25)
- ගනේ මිණි බැබළි කිරණෙව් සතපාය (27)
- පැහැ සරණිය මිණි පැමණිය කොත් අගට (53)
3. සෞන්දර්ය කෙරෙන් සත්‍යය කරා පියමන් කටයුතු ය. එසේත් නැතිනම් ආනන්දයෙන් ප්‍රඥාව කරා යාමේ මග කවියා දැඩිව විශ්වාස කරන සෙයකි.
- පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින් (21)
- වදිමින් සවස නල හැසිරෙන දිගතුවල (48)
4. කවියාගේ පරිකල්පනය ප්‍රශස්ථ තලයක ඇත්තකි. සකල සම්මත සිදුවීම් වුව නව්‍ය අන්දමින් ප්‍රතිනිර්මාණය කිරීමට හැකියාව ලැබී ඇත්තේ එ හෙහිනි.
- වලඳින අදහසින් මෙන් සුරඟන අහන (27)
- වඳිමින් සවස නල හැසිරෙන දිගතුවල (48)
- අප මුනිඳු බුදු වන දින මුරුන් පිදූ (68)
- සමනොළ ගිරි ගිජිදු දිගු කළ සොඩෙක සැටි (70)
5. සැළලිහිනියේ කාව්‍ය සන්දර්භය මනා සේ ඒකාබද්ධව වූවක් වෙයි. වර්ණනා එකතු කළ හෝ ඉවත් කළ නොහැකි තරමට කාව්‍යාංග හා සන්දේශාංග මනාව මුසු වීම කවීත්වයෙහි දස්කමකි.
6. අජීවි වස්තු සජීවිකරණය කරමින් ජීවිතාරෝපය කිරීමටත් එ මගින් උත්ප්‍රේක්‍ෂාලංකාරය දැනවීමත් දුලබ කවීත්වය ඇත්තෙකුගේ කුශලතාවකි.
- වලඳින අදහසින් මෙන් සුරගඟ අඟන (27)
7. සැළලිහිණි කවියාගේ කවීත්වය වෙසෙසින් සාධනය වන්නේ කවියා විසින් උපයුක්ත කර ගන්නා භාෂාව මගිනි. අර්ථ හා ශබ්ද මාධූර්යයෙන් සපූර්ණ වූ ප්‍රසාද ජනක රචනයක් සේ සැළලිහිණිය පෙරට එන්නේත් කවියාගේ කවීත්වය නැගෙන්නේත් කවියා විසින් උපයුක්ත කර ගන්නා කාව්‍යෝචිත ශ්‍රැතිරම්‍ය බස නිසාවෙනි.