රමණීය කවි කල්පිත ජනනය කිරීමෙහි හා ප්‍රස්තූතය
 

රමණීය කවි කල්පිත ජනනය කිරීමෙහි හා ප්‍රස්තූතය වඩා හොඳින් කුළු ගැන්වීමෙහි ලා සැළලිහිනි කවියා භාෂාව උපයෝගි කරගන්නා ආකාරය විමර්ශනය කරන්න.

* සැළලිහිණි කවියාගේ භාෂාවෙහි අවිවාදිත ප්‍රශස්ථ බවක් තිබේ. කවියාගේ සෙසු පද්‍ය කෘති අභිභවා සැළලිහිණියේ දී මේ ගුණය විශේෂයෙන් ඉස්මතු වේ. එමෙන් ම සැළලිහිණිය තුළ ද කවියා මනා පරිචයකින් භාෂාව සුභාවිත කරයි. මීට හේතු කීපයකි.

1. කවීත්වය උපදින්නේ ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය හා සතතාභ්‍යාසය යන ත්‍රිවිධ ගුණයන්ගේ සුසංයෝගයෙනි. කවියා තුළ මේ ගුණ වෙසෙසින් ඒකරාශි වී ඇති සෙයකි. එ හෙයින් ඔහු තුළ දුර්ලභ කවීත්වයක් ඇති අතර එ නිසා ම ඔහුගේ භාෂාව හරවත් වී ගුණවත් වී ඔපවත් ඇත.

2. සැළලිහිණි කවියා යෞවනයේදීම එනම් පසළොස්වක වියේ දී ම කඳකුමර වර හෙවත් සරසවි වරම් ලැබූවකි. ඉන් හැඟෙන්නේ එතුමා කුඩා කල පටන් කාව්‍යකරණයෙහි යෙදුණු බවකි. එ හෙයින් ම කවියාගේ වාග් පටුත්වය මැනවින් දියුණු වන්නට ඇත.

3. සැළලිහිනි කවියා ෂඩ් භාෂා පරමේශ්වර, ත්‍රිපිටක විශාරද වූ හිමිනමකි. මෙ නිසා ම එතුමන් සිංහල භාෂාව අතැඹුලක සේ දත් එහි ගැඹුරට ම කිමිද ගිය දැනුම් සම්භාරයක් ඇති හිමිනමක් වන්නට ඇත.

* සැළලිහිණි කවියා විසින් උපයුක්ත කර ගන්නා භාෂාවේ විශේෂතා කිහිපයක් වෙයි.

1. කවියා විසින් උපයුක්ත කර ගන්නා භාෂාව අප කිසියම් සෞන්දර්ය ප්‍රවාහයට ගෙන ගොස් ආනන්දනීය රසයෙන් දැහැන්ගත කරවයි. කවියා ධ්වනිත කරන කවි කල්පිත කියාපාන්නේ 'භාව පූර්ණ භාෂාව ම සාහිත්‍ය වන' බවකි.

- පුල් මල් කෙසරු මෙන් - රන්වනි තෙලෙ සරණ යුග (2)
- ලප නොම වන් සඳ මෙන් සොමි ගුණ ගිහිණි (3)
- සිසිවන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින (13)
- පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින් (21)
- වෙසඟන තුඟු තන යුග රොන් කොකුමහර (23)
- නිමල් සඳ පහන් වැනි වැලි පිට උදුළ (32)
- නුවනින් නිල් උපුල් මඳහසිනි හෙළැඹුල (47)
- වඳිමින් සවස නල හැසිරෙන දිගතුවල (48)
- සුනිල් වලා නව සඳ නිලුපුල් පබළු (56)
- වෙසෙසින් පහන් පැහැසර ගැඹුරු පිවිතුරු (89)

2. කවියාගේ භාෂාව හික්මවනු ලබන්නේ කවි සමය එසේත් නැති නම් කව් ලැකිය විසිනි. එ නිසාම සැළලිහිණිය තුළ කාල්පනික දේ බහුල වන අතර භාෂාව වසඟයට ගනිමින් කවියා පවසන ආකාරය අනුව ඒවා මනහර කවි කල්පිත වෙයි. අනෙක් අතට සැළලිහිණි කවියාගේ කාව්‍ය භාෂාව සමයානුගත වීමෙන් ම කෘතියේ භාෂාව පැරණි කවි සමය විසින් ගැබ් කරන ලද සංකල්පනාවන්ට පමණක් සීමා වන බව ද පැහැදිලිය.

- පව්රද කඳ නාලෝ මුල් දිගතු බර (5)
- සිසිවන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින (13)
- සොඳුරු සිය නදන් අනුතුරු දෙස සිටින (14)
- රිවිබිම්බා යුරු රිවිකුල කමලකර (19)
- සුරරද සමන් සමඟින් සුරඟන එවර (25)
- අයිරාවණ වුවත් නවතන රිසින් එන (31)
- මනහර නා මෙණෙවියනි'ද ළවැලි පිට (31)
- සැදෑ ළෙන් වරුණ දෙව්රද මුහුද විසූ (50)
- පෙර උවිදා ගෙන ගිරිදා සිඳු සලත (63)
- යස ගාන කල තැන තැන සිඳගනන් සැදී (83)
- ලෙව් හට තමන් නම කිව රිසි දෙන විසිනි (90)
- තරසර සුනෙර තද තෙද දිමුතු දිවයුරු (94)
- සිරි සඳවන් සව්සිරි දියුණුව රඳන (100)
- පැහැපත් පුන් සඳෙව් කිරි සමුදුර පළට (107)

3. කවියා උපයුක්ත කර ගන්නා භාෂාව ඖවිත්‍ය ගුණයෙන් අනූන වෙයි. මින් අදහස් කෙරෙන්නේ අදාළ වර්ණනාවට අතිශය ගැළපෙන, බද්ධ වූ භාෂාවක් භාවිත කළ බව ය. දූත වර්ණනාව, මාර්ග වර්ණනාව, විහාර වර්ණනාව, නළගන වර්ණනාව හා දේව වර්ණනාව ආදිය මීට සාධක වෙයි.

- පුල් මල් කෙසරු මෙන් - රන්වති තෙලෙ සරණ යුග (2)
- වලදින අදහසින් මෙන් සුරඟන අඟන (27)
- අග පිපිමල් මලිගිය ලිය කැලේයා (30)
- මග නිලමින් සිටි නා දොඹ නී පියල (35)
- අවට සුපිපි සපු දුනුකේ සලළාන (40)
- සසරින් මුදා ලෙව් සදහම් අමා දී (67)
- විදෙන ලෙලෙන නරුබර පුළුලුකුළ රැදී (74)
- ලකළ පුළුලුකුළ බඳ මිණි මෙවුල්ලා (75)
- පැමිණ සිටි අඳුන් ගිරි කුළු මුදුන වෙත (78)
- වෙසෙසින් පහන් පැහැසර ගැඹුරු පිවිතුරු (89)
- පව්රද කඳ නාලෝ මුල් දිගතු බර (5)

4. සැළලිහිණි කවියාගේ භාෂාව ජන වහරින් පෝෂණය වූවක් නොවේ. ඒ නිසාම සමස්ත කාව්‍ය පුරා ම විදග්ධ පණ්ඩිතප්‍රිය භාෂා රීතියක් දක්නා ලැබේ. ජන වහර අභිමත නොකළ ද කවියාගේ භාෂාව ජන කවියක් තරම්ම නැතත් සරල ය. සුගම ය. භාවිත ගුණයෙන් අනූනය.

- පොහොසද්දන ඇති තුනුරුවන බැති පෙමා (7)
- වලදින අදහසින් මෙන් සුරඟන අඟන (27)
- අග පිපි මල් මලි ගිය ලිය කැලේයා (30)
- මල් දම් සුවඳ දුම් දුන් සොඳ වරලසිනි (38)
- රිවි තැවුලේ පිපි කමලේ විල් ගැවසී (36)
- සලා දුලා පියොවුරු තඹර රොන් රත (38)
- පැහැසරණිය මිණි පැමිණිය කොත් අගට (53)

* සැළලිහිණි කවියාගේ බස පෝෂණය වී ඇති අංග කිහිපයකි.

1. කදිම සංකල්ප රූප ජනනය කරමින් නැතහොත් කාව්‍යමය වාක් චිත්‍ර මවමින් බස හසුර වන්නට කවියා සමතෙකි.

- පුල්මල් කෙසරු මෙන් - රන්වනි තෙලෙ සරණ යුග (2)
- තරසර හිවිමහල් මෙහි පහපෙළ නිතොර (12)
- පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින් (21)
- කළුවැල් කපුරු දුම තුළ ලෙළෙන දද පෙළ (28)
- සලා දුලා පියොවුරු තඹර රොන් රත (38)
- දන කැන් ගෙන දමන ගොදුරට නොහැකි ළිය (52)
- විදෙන ලෙළන නරුබර පුළුලුකුළ රැදී (74)

2. රමණීය කවි කල්පිත ජනනය කරන්නට පමණක් නොව ප්‍රස්තූතය වඩා හොඳින් කුළු ගැන්වීමෙහි ලා කවියා රූපකාදිය යොදා ගනී.

- පුල්මල් කෙසරු මෙන් - රන්වනි තෙලෙ සරණ යුග (2)
- ලප නොමවන් සඳ මෙන් සොමිගුණ ගිහිණි (3)
- බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවතී (4)
- සමනොළ මුහුළ මහ සමුදුර මෙවුල්බර (9)
- සිසිවත වුවන ඉඟ සුඟ ගත හැකි මිටින (13)
- වදිමින් සවස නල හැසිරෙන දිගතුවල (43)
- නමකළ සත හැලේ සිහිලේ සැප සිලිලී (81)
- සතුරු සුර අඳුරු එක පැහැර දුරු කළ (82)

* කවියා විසින් පද හා ශබ්ද ව්‍යංජනා කරන ආකාරය අනුව මනා ශබ්ද හා අර්ථ මාධූර්යයක් ද දැනවෙයි.

* කවියාගේ භාෂාවේ විශිෂ්ටත්වය කෙබඳු ද යත් භාවිත එකදු පදයක් හෝ අර්ථ රහිතව යොදා නොගත් නිසා ම පද සංඝටනයේ මනා අසිරියක් දක්නා ලැබේ. එ නිසාම එය බෙහෙවින් ශ්‍රැතිරම්යය.

* කවියාගේ භාෂා භාවිතයේ සුදක්ෂතාව හුදෙක් කවියාගේ විශිෂ්ට කවීත්වයට පමණක් නොව සාහිත්‍ය පෝෂණයෙහි ලා ඉවහල් වෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017