ඓතිහාසික සමාජ තොරතුරු සොයා ගැනීමේ මූලාශ්‍ර
 

ඓතිහාසික සමාජ තොරතුරු සොයා ගැනීමේ මූලාශ්‍රයක් වශයෙන් සන්දේශ භාවිත කිරීමේ හැකියාව සැළලිහිණි සන්දේශය ඇසුරින් විමසන්න.

* ඓතිහාසික දේශපාලන - ආර්ථික හා සංස්කෘතික තොරතුරුවලින් පූර්ණ සමාජ තොරතුරු සොයා ගැනීමෙහි ලා සාහිත්‍ය කෘති වැදගත් මූලාශ්‍රයක් වෙයි. ඒ අතර මුල් තැනට එන සාහිත්‍ය කෘති වෙසෙසකි සන්දේශ. සන්දේශවල අඩංගු හුදු අතිශයෝක්ති බැහැර කළ විට තත්කාලීන සත්‍ය සමාජ තොරතුරු වටහා ගැනීම අපහසු නොවේ.

* සෙසු සන්දේශ හා සසඳන විට සැළලිහිණි සන්දේශයේ ඓතිහාසික සමාජ තොරතුරු දක්නා ලැබෙන්නේ මඳ වශයෙනි. සැළලිහිනියේ සංක්‍ෂිප්ත බවත් කතුවරයා හුදු වාර්තාකරණයෙන් මිදුණු කවියෙකු වීමත් මීට හේතු වන්නට ඇත. එහෙත් ඓතිහාසික වශයෙන් ප්‍රමාණවත් සමාජ තොරතුරු සැළලිහිණියේ දුලබ නොවේ.

* සැළලිහිණි සන්දේශය තුළ ලාංකීය වශයෙන් වැදගත් ඓතිහාසික පුවත් කිහිපයක් එයි.

1. බුදුන් වහන්සේගේ තෘතිය ලංකාගමනය හා ඒ සමඟ බැඳුණු සිදුවීම්වල සත්‍ය භාවය සැළලිහිණිය මගින් තහවුරු වෙයි.

- අහසින් අවුත් මිණි අක් නියිඳු යැදුමට (65)
- සමනොළ ගිරි ගිජිඳු දිගු කළ සොඩෙක සැටි (70)

2. කැලණි විහාරය හා සම්බන්ධ එකඟ විය හැකි කරුණු කිහිපයක් ද සැළලිහිණියේ එයි.

- ගිලිය නොදී සැට මහණන් බව මහණ (62)
- නිරිඳුන් කැලණි තිස් නිවැරදි රහත් තැන (71)

3. අවසාන වරට ශ්‍රී ලංකාව එක්සත් කළ පරාක්‍රමබාහු රජුගේ එම උත්සාහය පිළිබඳ නිවැරදි යැයි පිළිගත හැකි කරුණු සැළලිහිණියේ එයි.

- නිල තුරඟුට නැගෙමින් රිවිදෙව් සිරින (29)
- හළ දුසිරිත් දැන තෙවළා මුනිඳු බණ (98)

4. කෝට්ටේ යුගය වන විට ද්‍රවිඬ වංශිකයන් හා සිංහල රාජකීයයන් අතර රාජතාන්ත්‍රික වශයෙන් සබඳතා වර්ධනය වී තිබූ ආකාරය සැළලිහිණියෙන් තහවුරු වෙයි.

- ගරුතර නන්නුරු තුනයා නමැති මැති (96)

5. එක එල්ලේ ම එකඟ විය නොහැකි වුව ද ජනප්‍රවාදවල එන ඇතැම් කතා පුවත් ද සැළලිහිණිය තුළ දැකිය හැකිය.

- පෙර දලනිඳු දියකඳ රට බිම් ගලත (61)
- බිසොවට පළමු රත්නාවලි නම් සොඳුරු (104)

6. ප්‍රාග් මහින්ද යුගයට සම්බන්ධ ලාංකීය පුවතක් වන රාවණා රජු පිළිබඳ කතා පුවත ද කවියා සැළලිහිණිය තුළින් තහවුරු කරයි.

- තුන් ලෝ තමා නතු කළ රවුළු සොහොවුරු (92)

* තත්කාලීන සමාජයේ මුල් බැස ගෙන තිබූ ඇදහිලි, විශ්වාස, පිළිගැනීම් ආදිය සැළලිහිණියගෙන් හෙළි වෙයි.

1. කෝට්ටේ යුගය වන විට දක්ෂිණ භාරතීය ආගම් හා දර්ශනයන්ගේ බල පෑම දැඩිව ලක්දිවට දැනෙමින් පැවතිණ. ගම්පොළ හා කෝට්ටේ රාජධානිවල දී රාජතාන්ත්‍රික වශයෙන් සම්බන්ධ වූ හින්දු භක්තික ද්‍රවිඩයන් හා ඔවුන්ගේ ඥාතීන් නිසා හින්දු සාමයික සංකල්ප හා දේව ඇදහීම් සාමාන්‍ය බෞද්ධ ජනතාව අතර පමණක් නොව උගත් මහතෙරවරුන් අතර ද පැතිරෙමින් තිබිණ. මේ දේව ඇදහීම් ඇතැම් විට බෞද්ධකරණය වූ අවස්ථා ද වෙයි. තත්කාලීන සමාජයේ මුල් බැස තිබූ දේව භක්තිය සැළලිහිණියෙන් තහවුරු වෙයි.

- පව් රද කඳ නා ලෝ මුල් දිගතු බර (5)
- සුරරද සමන් සමඟින් සුරඟන එවර (25)
- ගනේ මිණි බැබළි කිරණෙව් සතපාය (26)
- තරසර සුනෙර තද තෙද දිමුතු දිවයුර (94)

විභීෂණ දේව වර්ණනාව ද මේ උදෙසා නිදසුන් වෙයි.

2. හින්දු හා වේද සාහිත්‍ය ඇසුරෙහි එන දෙවියන් පිළිබඳ භක්තිවන්ත අදහස් හා ඇදහීම ද මෙ සමයෙහි පැතිර තිබෙන්නට ඇත. මීට බල පෑ හේතුව වන්නට ඇත්තේ සමාජය තුළ ද්‍රවිඩ බලපෑම් පැතිර ගොස් තිබීම විය හැකිය.

- කළුවැල් කපුරු දුම් ලෙළෙන දද පෙළ (22)
- උදාගිරි කසුන් රිටිවැට හිස බැබළි (24)
- සැදෑ ළෙන් වරුණ දෙව්රද මුහුද විසූ (507)

3. දේව විශ්වාස හා භක්තිය කෝට්ටේ යුගය තුළ ස්ථාපනය වී තිබුණ ද බුදුන් වහන්සේ හා බුද්ධ දර්ශනයට හිමි හිමි විය යුතු නැත එ ලෙස ම ලැබී තිබුණු බව ඉතා පැහැදිලිය.

- පොහොසද්දන ඇති තුනුරුවන බැති පෙමා (7)
- ලොව විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදී (17)
- සුරරද සමන් සමඟින් සුරරඟ එවර (25)
- පත් ගන පුල්මල් දොඹතුරෙක පියකරු (41)
- සොඳ මුනිරද පිඬු කළ යස මෙරද සම (42)
- මනහර නා මෙණෙවියනි'ඳ ළවැලි පිට (45)
- දිය තෙක් පැතිර සිටි බුදුගුණ කියා හැම (60)

කැලණි විහාර වර්ණනාව ඇසුරින් ද මේ බව තහවුරු වෙයි.

4. සුබ නැකැත් හා නිමිති මෙන් ම මංගල වස්තු අනුව කටයුතු කිරීම තත්කාලීන සමාජයේ පැතිර තිබූ බව පෙනේ.

- උදේ සැපත් සුරගුරු අලු කර අවට (15)
- නල මුදු සුවඳ පිරි තුඹු මියුරු අඹ ගෙඩි (16)

* තත්කාලීන සමාජයේ තිබූ යුදමය වාතාවරණයක සමීප තතු හා ආරක්ෂක සංවිධාන පිළිබඳ සංඥා සැළලිහිණියේ එයි.


- නිල තුරඟුට නැගෙමින් රිවිදෙව් සිරින (29)
- අයිරාවණ වුවත් නවතන රිසින් එන (31)

* නගර, මාර්ග, දේශාදී වර්ණනයන්ගෙන් තත්කාලීන පරිසරයේ තථ්‍ය ස්වරූපය පිළිබඳ දළ අදහසක් ලබා ගත හැකිය. විශේෂයෙන් ජයවර්ධනපුර, කැලණි පුර ආදී වර්ණනාවලින් නගර ස්වරූපය පමණක් නොව නගර සැලසුම් ආදී දේ පිළිබඳ වටහා ගැනීමට ලැබේ.

- සැදි රත තඹර පෙළ රන තිසරුන් රුවැති (8)
- සමනොළ මුහුළ මහ සමිදුර මෙවුල් බර (9)
- දුවන බඳ කිකිණි හයකුර පහර නද (10)
- මුවලඹ රඹ වලුබර රන් තැඹිලි තුරු (59)

තත්කාලීන පරිසරයේ නැවුම් සෞන්දර්යාත්මක ස්වභාවය ද සැළලිහිණියෙන් හෙළි වෙයි. රමණීය උයන්වතු කෙත්වතු වනපෙත් ඒ අතර වෙයි.

- සිහිල් සපු සුවඳ ගෙන එන උයන්වල (11)
- සන්නන් සිහින් ගෙදි සෙවණැලි වැලි තෙලෙන (28)
- අග පිපිමල් මලිගිය ලිය කැලේයා (30)
- මග නිලමින් සිටි නා දොඹ නී පියල (35)
- රිවි තැවුලේ පිපි කමලේ විල් ගැවසී (36)
- වන සිරි පියුම්රා බඳ රන බරණ යුරු (37)
- අවට සුපිපි සපු දුනුකේ සලළාන (43)
- සල් සපු කීන දොඹ රෑ රඟ නා මිදෙලි (43)
- මුවලඹ රඹ වලුබර රන් තැඹිලි තුරු (59)

* වර්ධනීය හා උසස් තලයක පැවතුණු ශිල්ප-කලා රැසක් තත්කාලීන සමාජයේ වූ බව පෙනේ. මේ අතර ගෘහ නිර්මාණ, සිතුවම්, මූර්ති, කලා මෙන් ම නර්තන, වාදන, ගායන ආදී කලාවන් ද කුළු ගැන් වී තිබූ බව පැහැදිලිය. විවේකි හා නිරෝගි මනසකින් හෙබි ජනතාවක් අතින් කලාත්මක නිර්මාණ නිපැයෙන්නට හා රසවින්දනය කෙරෙන්නට ඇතැයි සැලකිය හැකි ය.

- තරසර හිවිමහල් මෙහි පහපෙළ නිතොර (12)
- ගන රන්කොතින් දිලිහෙන මිණි රැස් විහිදු (18)
- පෙර උවිදා ගෙන ගිරිදා සිඳු සලත (63)
- දිගු නෙත් නිලුපුලෙව් රතදර පබල රඟ (84)
- සවන සතිය වැසි වසිනා දස දිගෙහි (66)
- විටංක පැකිළිඳු දකුණස දොරටුයෙන (69)
- පුලා සුවඳ මල්වුල් කර කර වරල් බැඳ (73)
- විදෙන ලෙළෙන නරුබර පුළුලුකුළ රැදී (74)
- වස් දඬු බිගු කොවුල් විණා නද මියුරු (76)

* තත්කාලීන කාන්තාවන් හා පුරුෂයන් ස්වකීය විවේකය විනෝදයෙන් යුතුව වින්දනය කළ බවට තොරතුරු ද සැළලිහිණියේ එයි.

- මල් දම් සුවඳදුම් දුන් සොඳ වරලසිනි (33)
- සලා දුලා පියොවුරු තඹර රොන් රත (38)
- සපුමල් යොහොඹු ලා බැඳ වරල මනරඟ (46)
- නුවනින් නිල් උපුල් මඳහසිනි හෙළැඹුල (47)
- දන කැන් ගෙන දමන ගොදුරට නොහැකිළිය (52)
- තවර කර කොකුම් සඳුනෙත් තුනු සියල (58)

* කෝට්ටේ රාජධානියේ සමකාලීන සමාජය ආර්ථික වශයෙන් සමෘද්ධිමත් තත්ත්වයක පැවති බව සැලළිහිණිය තුළින් පැහැදිලි වේ.

- පොහොසද්දන ඇති තුනුරුවන බැති පෙමා (7)
- දුවන බඳ කිකිනි හයකුර පහර නද (10)
- තරසර හිවිමහල් මෙහි පහපෙළ නිතොර (12)
- සොඳුරු සිය නදන් අනුතුරු දෙස සිටින (14)
- පැහැ සරණිය මිණි පැමිණිය කොත් අගට (53)

* තත්කාලීන සමාජයේ ජීවන වෘත්තීන් සැළලිහිණිය ඇසුරේ වටහා ගත හැකිය.

1. එකල ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මෙන් ම රටේ ප්‍රධාන කර්මාන්තය, කෘෂි කර්මාන්තය යැයි නිසැක වශයෙන් ම සැළලිහිණියෙන් පැහැදිලි වෙයි.

- සලා දුලා පියොවුර තඹර රොන් රත (38)
- අවට සුපිපි සපු දුනුකේ සලළාන (40)

2. කෘෂිකර්මය හැරුණු කොට සමකාලීන සමාජයේ ප්‍රචලිත වෙනත් වෘත්තීන් ගැන ද සැළලිහිණිය තුළ යම් පමණකට තොරතුරු සඳහන් වෙයි. රාජ්‍ය සේවය, යුද්ධ සේවය, නළඟන වෘත්තීය, අභිසාරිකා වෘත්තීය, කුලීන මෙහෙවර කිරීම ආදිය ඒ අතර වෙයි. වෙළඳගොඩ, වෙළඳ කටයුතු සඳහා ප්‍රචලිත නගරයක් වුව ද කවියා ඒ ගැන නොපවසයි.

- වෙසඟන තුඟු තන යුග රොන් කොකුමහර (23)
- නිල තුරඟුට නැගෙමින් රිවිදෙව් සිරින (28)
- අයිරාවණ වුවත් නවතන රිසින් එන (31)
- සපුමල් යොහොඹු ලා බැඳ වරල මනරඟ (46)
- පුලා සුවඳ මල'වුල් කර වරල් බැඳ (73)

* කාන්තාව පිළිබඳ වැදගත් සාධක කිහිපයක් සැළලිහිණියේ එයි.

2. කාන්තාව සෞන්දර්යයේ ප්‍රතිමූර්තියක සේ සමකාලීන සමාජයේ ද ගෞරවාදරයට පත් වූ බවක් සැළලිහිණියෙන් සනාථ වෙයි.

- සිසිවත වුවන ඉඟ සුඟ ගත හැකි මිටින (13)
- නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි (16)
- මල් දම් සුවඳ දුම් දුන් සොඳ වරලසිනි (33)
- නුවනින් නිල් උපුල් මඳ හසිනි හෙළැඹුල (47)
- ඔද වැඩි කෙළි මඟුල් ලැබ තුටු නිසා කල (57)
- තවර කර කොකුම් සඳුනෙන් තුනු සියල (58)
- පුලා සුවඳ මල'වුල් කර වරල් බැඳ (73)
- විදෙන ලෙළෙන නරුබර පුළුලුකුළ රැදි (74)
- ලකළ පුළුලුකුළ බඳ මිණි මෙවුල්ලා (75)
- වස් දඬු බිඟු කොවුල් වීණා නද මියුරු (76)
- සත නෙත දුන් රුසිරු රස අඳුන් වන (99)

කාන්තාවගේ වස්ත්‍රාභරණ හා අලංකාර පිළිබඳ කරුණු ද සැළලිහිණියේ විශද වෙයි. නාගරික හා ගැමි ළදුන්ගේ වස්ත්‍රාභරණ පිළිබඳ පැහැදිලි වෙනසක් ඒ මගින් හඳුනාගත හැකිය.

- සමනොළ මුහුළ මහ සමුදුර මෙවුල් බර (9)
- සලා දුලා පියොවුරු තඹර රොන් රත (38)
- ගවසා සුපුල් කඩුපුල් මල් නිල් වරල මනරඟ (46)
- පුලා සුවඳ මල'වුල් කර වරල් බැඳ (73)
- විදෙන ලෙලෙන නරුබර පුළුලුකුළ රැඳි (74)
- ලකළ පුළුලුකුළ බඳ මිණි මෙවුල්ලා (75)

3. කාන්තාවන්ගේ සමාජශීලී භාවය මෙන් ම තත්කාලීන කාන්තාවන්ගේ ගෞරවනීය කුල චාරිත්‍ර පිළිබඳ විස්තර සැළලිහිණියේ එයි.

- සිරිසඳ වන් සව්සිරි දියුණුව රඳන (100)
- යෙහෙළින් කෙරේ සකි සැප සමඟ සිත් මේ (101)
- මිහිර තෙපල තන්වැසි කිවිකම් පුරුදු (102)

* තත්කාලීන සමාජයේ ශාස්ත්‍රීය සමෘද්ධිය පිළිබඳ තොරතුරු නම් සැළලිහිණියේ දක්නා නොලැබෙන තරම් ය.

(c) Shilpa Sayura Foundation 2006-2017