විභීෂණ දේව වර්ණනාව කවියාගේ දේව භක්තිය අතිශයෝක්තියට නඟන ලද වර්ණනාවක් වන්නේ දැයි සාකච්ඡා කරන්න.
* සන්දේශයක් යැවීම සඳහා සම්පූර්ණ විය යුතු ප්‍රධාන කරුණු සතරකි. එ නම් යවන්නෙක (ප්‍රේක්ෂක), ගෙනයන්නෙක (භාරක), ලබන්නෙක (ග්‍රාහක) හා කියයුත්තක (සන්දේශ) යනුයි. සන්දේශය ලබන්නා එ නම් ග්‍රාහකයා ඉතා ඕනෑකමින් වර්ණනා කිරීමට, සියලු සන්දේශකරුවන් මහත් රුචියක් දක්වා ඇත. එ නිසා ග්‍රාහක වර්ණනාව ද සන්දේශයක නොබිඳිය යුතු අංගයක් වී ඇත.
* සිංහල සන්දේශාවලිය අතරෙහි සන්දේශය ලබන්නා හෙවත් ග්‍රාහක වශයෙන් බොහෝ විට රජකු දෙවියකු හෝ වෙනත් ප්‍රභුවරයෙකු දක්නා ලැබේ. සන්දේශ ලබන්නා බොහෝ විට තීරණය වී ඇත්තේ සන්දේශයේ පරමාර්ථයත් සමඟින් බව පැහැදිලි ය.
* සැළලිහිණි සන්දේශයේ දී සන්දේශය ගෙන යනු ලබන්නේ දෙවියෙකු වෙත ය. නැතහොත් සන්දේශය ලබන්නේ විශීෂණ නම් දියණියට මතු රාජ්‍ය පාලනයට උරුමකම් කිව හැකි පුත් කුමරෙකු ආශිර්වාදයකින් හෝ ලබා දීම යි. කවියා මෙහි දී ආශිර්වාදය අයදින්නට කල්පනා කරන්නේ දෙවියකු වෙතිනි. ඒ දෙවියා නම් කැලණි පුරයේ විශීෂණ ය. ආශිර්වාදය ඉල්ලා සිටින්නට නම් සන්දේශය විශීෂණ දෙවි වෙත යැවිය යුතු හෙයින් කවියා විශීෂණ දෙවියන් වර්ණනා කරන්නට එළඹෙන්නට ඇත.
* සන්දේශ ලබන්නා ලෙස දෙවියකු තෝරා ගැනීම සඳහා තවත් ඓතිහාසික කරුණක් බලපාන්නට ඉඩ ඇතැයි සිතේ. දෙවියන් පිදීම හා යැදීම කෝට්ටේ කාලයේ දී බෙහෙවින් පැතිර ගිය කරුණක් වී ය. ඒ නිසා සන්දේශ කාව්‍ය සුලබ කිරීමෙහි ලා උගතුන් උනන්දු කළ කරුණක් සේ දේව වන්දනය හා වර්ණනය සැලකිය හැකිය.
* සැළලිහිනි සන්දේශයෙහි රමණීය වර්ණනා බොහොමයක් කොට ඇත්තේ නොතතනා සිතට නැඟුණු සංකල්ප කියනු සඳහා ය. ඒ නිසා ඒවා නිසඟ කවීත්වයක් පළ කරන අව්‍යාජ, අවංක වර්ණනා වෙයි. එ මෙන්ම ප්‍රබන්ධකරණයෙහි දැඩි වෑයමක් ඒවා තුළ දක්නා නොලැබේ. එසේ වී නමුත් විභීෂණ දේව වර්ණනය කවියා විසින් සෙසු වර්ණනා මෙන් නොව මහත් වෑයමකින් සහ ආශාවෙන් කරන ලද්දක් බව පෙනේ. ඒ නිසා ඇතැම් වර්ණනා දේව වර්ණනය තුළ ව්‍යාජ බවක් ගනී. විභීෂණ දෙවියන් කෙරෙහි අවංක භක්ත්‍යාදරයක් දැක්වූ නිසා ම කවියාගේ වර්ණනා අතිශයෝක්තියට නැංවෙයි. මේ අතිශයෝක්තිය කෙතෙක් ද යත්, ඇතැම් වර්ණනා ඉන්ද්‍රිය ගෝචර පථයට දුරස්ථ වෙයි.
- පැමිණ සිටි අඳුන් ගුරු කුළු මුදුන වෙත (78)
- රුවිනේ උතුම් ඒ සුරිඳු මිණි ඊල මෙනේ (80)
- නම කළ සත හැලේ සිහිලේ සැප සිලි ලී (81)
- යස ගාන කල තැන තැන සිදඟනන් සැදි (83)
- කනා මිණි වළලු නැඟි රැස් මල් කැනැති (85)
- වඳනා සුරන් කිරුළඟ රුවන කැළුමෙනා (88)
- ලෙව් හට තමන් නම කිව රිසි දෙන විසිනි (90)
* මෙම වර්ණය අතිශයෝක්තියට නැංවීමට හේතු වන්නට ඇතැයි සිතිය හැකි කරුණු කිහිපයකි.
1. විභීෂණ දෙවියන් සන්දේශ ලබන්නා හෙවත් ග්‍රාහක වීම එක් හේතුවකි. සන්දේශකරුවාගේ අරමුණු අවසාන වශයෙන් ඉෂ්ඨාර්ථය පිණිස නාහිගත වන්නේ විභීෂණ දෙවිඳු අභියස නිසා අතිශයෝක්තියෙන් වර්ණනය කිරීමට කවියා සිතන්නට ඇත.
2. විභීෂණ යනු පුලස්ත්‍ය නම් සෘෂිහුගේ විශ්‍රවස් නම් පුතුට නෛක්ෂා නම් රාක්‍ෂසියගෙන් උපන් පුතෙකි. ශුර්පබනා නම් සොයුරියක් හා කුම්භකර්ණ, රාවණ නම් දෙසොහොයුරෝ ද වූහ. මෙ නිසා බමුණෙකු වුව ද මව රාක්‍ෂසියක වූ හෙයින් විභීෂණ රාක්‍ෂසයෙකු සේ සැලකේ. සීතා කුමරිය බේරා ගැනීම පිණිස රාම කුමාරයාට එක් වී සටන් කළ ඔහු ට රාම කුමරු ආපසු යන ගමනේ දී ලංකා ද්වීපය පැවරී ය. එතැන් පටන් ඔහු දෙවියෙකු ලෙස පිදුම් ලැබී ය. විභීෂණ සුරිඳුන්ගේ චරිතය පිළිබඳ කරුණු සැළලිහිණි කවියා ද කියයි.
තුන් ලෝ තමා නතු කළ රවුළු සොහොවුරු (92)
සාම්ප්‍රදායික සාහිත්‍යයෙහි ලා දේවත්වය වර්ණනා කෙරෙන්නේ අනිවාර්යයෙන්ම අතිශයෝක්තියෙනි. දෙවියෙකු සේ පිදුම් ලද විභීෂණ මේ සම්ප්‍රදායට එකඟව වර්ණනා කරන්නට සැළලිහිණිකරුවා කල්පනා කරන්නට ඇත.
3. පෞද්ගලික වශයෙන් රහල් හිමියන් වූ කලී අසීමිත දේව භක්තියක් ඇත්තෙකු යයි ඉතිහාසයේ කියැවේ. බුදුන් වහන්සේ විසින් තිරශ්චීන යැයි පරිභව කළ, ඇතැම් මිත්‍යා ශාස්ත්‍ර ගුරු කොට ගත් රහල් හිමියෝ දෙවියන් පිදීම හා යැදීම මහත් කොට සැලකූ හ යි විචාරකයෝ පෙන්වා දෙති. මේ පෞද්ගලික භක්තිය නිසා ද සැළලිහිනියේ දේව වර්ණනාව අතිශයෝක්තියට නැංවෙන්නට ඇත.
4. නාථ, ඊශ්වර, විෂ්ණු ආදී දෙවිවරු මෙන් නොව විභීෂණ, උපුල්වන්, මහසෙන් (ස්කන්ධ) සමන් ආදී දෙවිවරු ස්වදේශික වූත් බෞද්ධ විඥානය හා අවියෝජනීය ලෙස බැඳී ගියා වූත් අය වෙති. ඔවුන් නූගත් ජනතාවගෙන් පමණක් නොව උගතුන්ගෙන් ද අපමණ ගරු බුහුමන් ලැබුයේ එ හෙයිනි. බෞද්ධ චින්තනය හා වඩා සමගාමි වූ දෙවියෙකු වූ විභීෂණ දෙවියන් නිසා ම අතිශයෝක්තියෙන් වර්ණනා කිරීමට සැළලිහිණිකරුවා උත්සුක වූවා වන්නට ඇත. සැළලිහිණි කවියාගේ දෘඨ දේව භක්තිය කෙතෙක් ද යත් භීෂණ දෙවියන්ගේ කේශාන්තය සිට පාදාන්තය දක්වා ම අංග ප්‍රත්‍යාංගයන් එකිනෙක වර්ණනාවට විෂය කර ගනී.
- පැමිණ සිටි අඳුන් ගිරි මුදුන වෙත (78)
- සුනිලේ පැහැය හැර සුදු වනුය ගන වෙලේ (79)
- රුවිනේ උතුම් එ සුරිදු මණි ඊල මෙනේ (80)
- නමකළ සත හැලේ සිහිලේ සැප සිලි ලී (81)
- සතුරු සුර අඳුරු එක පැහැර දුරු කළ (82)
- යස ගාන කල තැන තැන සිඳගනන් සැදී (83)
- සිරි සර හිඟුල්විල සේ හස වැළෙව් ගන (84)
- තනා මිණි වළලු නැඟි රැස් මල් කැනැති (85)
- පානා සෙනේ සුසිනිඳු මඳලස බැල්ම (86)
- ලකුළු පුළුලුකුළු වටබිම් එ සුර විරු (87)
- වඳනා සුරන් කිරුළඟ රුවන කැළුමෙනා (88)
දේව ශරීරයේ සිරස්පත, නළල් තලය, සවන් යුග, නෙත් යුග, නැහැය, ලවන් යුග, හස්ත යුග්මය, ඇඟිලි, උර තලය, උකුළ, වටොර, පතුල ආදී අවයවයන් අභිරුචියෙන් වර්ණනා කරන කවියා අවසානයේ ඉනිදු තෘප්ත නොවෙයි.
- වෙසෙසින් පහන් පැහැසර ගැඹුරු පිවිතුරු (89)
* ක්‍රමානුකූල ප්‍රවේශයකින් දේව රූප ශ්‍රීය වර්ණනා කරන කවියා දෙවියන්ගේ ගුණ සමුච්චය සංක්‍ෂිප්ත කොට පිඬු කොට දක්වයි. දේව චරිතය එ මගින් පරමාදර්ශි එකක් බවට පත් කරයි.
- ලෙව් හට තමන් හට නම කිව රිසි දෙන විසිනි (90)
- මන් පිනවන යන තෙද නැණ විපුල (91)
- තුන් ලෝ තමා නතු කළ රවුළු සොහොවුරු (92)
* කවියාගේ දේව භක්තිය විභීෂණ දේව වර්ණනාවෙන් ඔබ්බට ද යයි. සැළලිහිණි අස්නට පසුව එකතු කරන්නට ඇතැයි සැලකිය හැකි වුව ද ඉනිදු කවියාගේ අප්‍රමාණ දේව විශ්වාසය හෙළි වෙයි.
* වෙනත් කිසිදු සන්දේශකරුවෙකු නොකරන අන්දමේ දේව වර්ණනාවකි. සැළලිහිනියෙහි එන්නේ සංක්‍ෂිප්ත සැළලිහිණියේ පද්‍ය අතුරින් වැඩි ප්‍රමාණයක් (පද්‍ය 16ක් පමණ) වැය කරමින් දීර්ඝතම වර්ණනාව කවියා කරන්නේ විභීෂණ දෙවියන් වෙනුවෙනි. කවියා එ තරම් ගෞරව සම්ප්‍රයුක්ත භක්ත්‍යාදරයකින් දෙවියන් අදහයි. වඳියි. පුදයි.