එදා තමා හරි හුළඟ! හුළඟ පමණක් නම් මදෑ. අතරින් පතර මොර සූරන වැස්‌ස! මුළු වනය මහ කුනාටුවෙකින් කැළඹී ගිය මුහුදක් මෙන් විය. හුළඟ ඉතා තද වූ විට එක් මහ ගසක් ගොස් තවත් මහ ගසෙක හැපෙයි. එය ගොස් තවත් එකෙක හැපෙයි. මේ හැපීමෙන් බිඳ වැටුණු මහ ගස් ගණන් නැත. එසේ බිඳ වැටුණු මහ ගසට යට වී කැඩී බිඳී තැලී පොඩි වී ගිය සුළු ගස් ගණන් නැත.
" ලෝක විනාස වැස්‌ස වත් ආ දොහො " යි සිතා මෙන් අපා දෙපා
සිවුපා බුහුපා සියලු සත්තු සැඟැවුම් හත්හ. බිඳ වැටෙන මහ ගස් නිසා යා ගත නො හැකිව, සිය බිරින්දෑට කිමෙකින් කිමෙක් වී දැයි තැවි තැවී තෙමි තෙමී උන්
අලි රාළහාමි සුළඟ වෙහෙසුණු කල්හී, වැසි නැවැතුණු කල්හි සිය නිවෙසට යන්නට පිටත් විය.
ඒ අතින් බිඳවැටුණු මේ අතින් ඇඳ වැටුණු යට ව පොඩි වුණු ගසින් සියලු මඟ ඇවිරී ගියේය. තිරිසන් බලය නොතිබුණේ නම් අලිහාමිට ගෙදර යෑමෙක් නො ලැබේ. ඒ තිරිසනෙකි. ඒ පමණක් ම නොවේ. මහ අලියෙකි. එ හෙයින් ඇද්ද යුතු දේ ඇද,
බින්ද යුතු දේ බිඳ. කැඩිය යුතු දේ කඩා පොඩි කළ යුතු දේ පොඩි කොට, කෙසේ නමුත් හේ බිරින් දෑ ළඟට ගියේය.
" ලොකයට කිමෙක් වී දො හො " යි බලන පිණිස මෙන් ගෝන හාමි ද ඒ අසලට පැමිණියේය. ඒ වෙනදා ඔහුට පුරුදු ලොකය නොවේ. කැඩුණු බිඳුණු පොඩිවුණු ලොකයකි. ගෝන හාමි තමන් ගේ අළුත් අං තට්‌ටුව සලන්නට වූයේ ය. " අනේ මේ කාගේ කැරුමෙක් ද " යනු ඔහු ගේ කටින් නිකම් ම පිටවිය.
අලියා බිඳැලූ අත්තෙක ඒ අත මේ අත යෙමින් හිස වනමින් සිටි කටුසු හාමිට ගෝන හාමිගේ බස ඇසුණේ ය. හේ තව තවත් හිස වනන්නට වූයේ ය. " අනේ, මේ මෝඩයාට මෙතරම් දෙයකුත් තේරෙන්නේ නෑ නොවැ " යි කියන්නාක් මෙන් හිස වනන්නට වූයේ ය. හොඳටම හිස වනා මෙසේ ද කීය.
" ඇයි දන්නේ නැද්ද ?. " ගෝන හාමිට හඬ ඇසුණා පමණෙකි. හඬ නැගු අය නො පෙනුනේය. ගෝන හාමි දස අත බලන්නට වූයේය. " ඇයි දන්නේ නැද්ද ?." දෙවැනි වරට ද මෙසේ කී කළ ගෝන හාමි කෙළින් ම බලා කටුසු හාමි හැඳිනැ ගත්තේය.
" හා ඒ ඔබ ද ? අනේ කටුසු හාමි. මේ ලොකය පොඩි වැ ලා නො වෑ ? මේ කාගේ කැරුම් ද ?" ගෝන හාමි මෙසේ කියා තමා ගේ අං තට්‌ටුවේ අලංකාරය පෙන්වන්නට මෙන් හිස ඔසවා කටුසු හාමි දෙස බැලී ය. කටුසු හාමි හිස වනමින්, ගෝන හාමි ගේ අං තට්‌ටුවේ දළු ගණන් කරන්නාක් මෙන් බලා සිට, මෙසේ කීයේ ය.
" ඇයි දන්නේ නැද්ද ? අලින්නේ අපේ කැරුම් නොවැ ?."
ගෝන හාමි මහත් කොට සිනාසුණේ ය. මෙසේ ද කීය.
" අලි රාළ හාමිට නම් මේ මහ කාරියෙක් නොවෙයි. රාළ හාමි මහ සැරකාරයා බව කවුරුත් දනිති. එහෙත් ඔබ වැනි කුඩාවකුට මෙ මහ ගසක් තබා කුඩා ගසෙක අත්තක් වත් කැඩීම බැරි බව මා හොඳ හැටි දන්නවා. කුමකට ද මේ විහිළු ? හැබෑවටම අලි රාළ හාමි ද මේ ගස් කඩා දැමුවේ ?."
" අලි රාළ හාමි! අනේ. අනේ. මම නිකම් ම කටුසු හාමි. ඒ මහ රාළ හාමි! මටත් ඉදිමෙන්නට පිළිවන් නම් මමත් රාළ හාමි. හොඳා. කමෙක් නෑ. ඔබට ඇත්ත කියමි. අලියාත් වැටුණු ගහක් දෙකක් ඒ මේ අත ඇද්දා තමා. එහෙත් හරි හරිය කෙළේ නිකම් ම නිකම් කටුසු හාමි. ඔබ අලියාගේ මහ සැරයට බය බව හැබැයි.
එහෙත් මගේ හීන් සැරයත් සැරයක් බව නො සිතුවා වරද යි." ගෝන හාමි මුව අයාගෙන, ඇස් ඔරවා ගෙනැ, කන් කෙළින් කොට ගෙනැ, අසා සිටියේ ය. කටුසු හාමි එතරම් බිය නැති ලෙස කියන හෙයින් සැක කරන්නට ද හේ අසමර්ථ ය. එහෙයින් කිසිවක් නො කියා, කටුසු හාමිට හිස නමා ආචාර කොට, මඳ තැනක් පස්‌සෙන් පස්‌සට ගොස්, නැවතත් හැරී යන්නට වන.
ගෝන හාමි ගේ සිතිවිලි, දැන් ඔහුට සුව නො දෙයි. " අහෝ!, පුදුමයි, එ තරම් සිහින් කටුසු හාමි... හා හා, එසේ කියන්නට හොඳ නෑ කටුසු රාළ හාමි! ඔහු මෙතරම් බිහිසුණු කම් කරද්දී අලි රාළ හාමි නිකම් සිටියේ ලු. සත්‍යය යි
විශ්වාස කළ හැකි ද? මේ තරම් මහත් ශරීර ඇති, මේ දරුණු අං ඇති, මේ තරම් තද කුර ඇති, මේ තරම් තියුණු දත් ඇති, මේ තරම් වේගයෙන් දිවිය හැකි, අපට අලි රාළ හාමි ගේ අහලෙක වත් සිටින්නට නො පිළිවන.
එහෙත් ඒ තරම් සිහින් කටුසු රාළ හාමි කළා ය කියන දෑ දුටුවාම අලි රාළ හාමි ට ලජ්ජා හිතෙනවාට සැක නෑ. අනේ මෙබදු දෑ සිදු විය හැකිද ? ඇයි නො හැකි? බුදුනටත් වඩා බලවත් මහණුන් දැන් ඇතිවිය හැකි නම්, බුදුන් ගේ බල හතරට මොවුන් ගේ බල අටක් විය හැකි නම්, කටුසු රාළ හාමි අලි රාළ හාමි ට වඩා බලවත් විය හැකි නොවන්නේ කවර හෙයින් ද ?."
මෙසේ සිත සිතා යන ගෝන හාමිගේ සිත තව ද අතකට ගියේ ය. " ඉතින් මෙය කාට නම් කියමි ද? නොකියා සිටීමත් අමාරු ය. එ කළ මෙය සිත ඇතුළේ පැසි පැසී සිතට මහත් වෙහෙස දෙයි. හිතේ ඇති දැයක් කියන්නට සුදුස්‌සෙකු කියූ කළ තමාට සරදම් නොකොට තමා අමාරුවෙන් මුදන්නකු ඇති වීම මහත් වාසනාවෙකි. එ බඳු දැයක් කිටන්නට සුදුස්‌සෙක් මටත් ඇත් ද ? ඇයි, නැත්තේ! මගේ බිරින්දෑ " "උන්දෑට මා නොකී රහසක් නැත.
ඒ සියල්ලෙහි ද මගේ සිත සැනසුවා මිස, කිසි විටෙක මට සරදම් නො කළාය.
එහෙත් මෙතෙක් කී දෑ වැනි නොවේ. මට වඩා කටුසු හාමි හපනකු බව දැනගත් විට මට ඇති ආදරය අඩු වේද ? නෑ. නෑ, එසේ වන්නේ නෑ. අලි රාළ හාමි. කොටි රාළ හාමි. මට වඩා හපන් බව උන්දෑ හොදට දන්නවා.
ඉතින් මට ඇති ආදරය එයින් අඩු වුණාද ? නෑ. උන්දැට මෙය කියමි. "
