කැලණි විහාර වර්ණනය
 

කැලණිය විහාරය වර්ණනය තුළ දී පූජනීය සහ වන්දනීය ස්ථාන වර්ණනා කිරීම කවියාගේ අකලංක බෞද්ධාගමික චින්තනය ප්‍රකට කරවන්නකි. විමසන්න.



* සන්දේශ කාව්‍ය සම්ප්‍රදායේ එන වැදගත් ලක්ෂණයක් වන්නේ බොහෝ විට සෞන්දර්යවාදී ඇසින් ලෞකික පක්ෂය අභිමත කොට වර්ණනා කිරීම යි. සන්දේශ තුළ එන පුර, දිය කෙළි, නළඟන වැනි වර්ණනා මීට සාක්ෂි දරයි. මේවා බොහෝ විට ලෞකික පක්ෂයෙන් වෙනස් පාර්ශවය වන ලෝකෝත්තර නැතහොත් ආගමික නැඹුරුවෙන් මිදුණු වර්ණනා වෙයි. බෞද්ධ දූත කාව්‍යයන් තුළ වුව ද මේ ආගමික නොහොත් බෞද්ධාගමික නැඹුරුවට වඩා ලෞකික පක්ෂයට සමීප වනු විශේෂයෙන් දක්නා ලැබේ.

* කිසි යම් බෞද්ධ දූත කාව්‍යයක් තුළ තෙරුවන් ගුණ, විශේෂයෙන් බුදුගුණ හා පූජනීය ස්ථානාදිය වර්ණනා කරන ආකාරය අදාළ සන්දේශ කවියාගේ බෞද්ධ භක්තිය මැන බලන සාධකයක් වෙයි. මේ මැන බැලීමේ දී සන්දේශ කවීන් අතර ඉදිරියෙන් ම සිටින්නෙකු ලෙස හංස කවියා පෙරට එයි. විශේෂයෙන් විදර්ශනාධූර දැරූ වනවාසි භික්ෂු පරපුරට අයත් වූ හෙයින් හංස කවියාට මේ තැන ලැබී තිබේ.


* සිංහල සාහිත්‍යය හා ශාස්ත්‍රීය ඉතිහාසය දෙස බලන කල සැළලිහිණි කතුවර තොටගමුවේ ශ්‍රී රාහුල පිළිබඳ කියැවෙන්නේ බෞද්ධාගමික හර ඉක්මවා ගිය තෙරනමක වශයෙනි. ග්‍රන්ථධූර දැරීමට වැඩි ප්‍රියතාවක් දැක්වූ ග්‍රාමවාසී භික්ෂු පරපුරේ පතාකයෙකු වීමත්, බුදුන් වහන්සේ අභිමත නොකළ ග්‍රහ නක්‍ෂත්‍රාදි විද්‍යාවන් ප්‍රගුණ කළ අයෙකු වීමත් මීට හේතු වශයෙන් ඉදිරිපත් කෙරේ. අනෙක් අතට බුදුන් වහන්සේ මෙන් ම අනෙකුත් දෙවිදේවතාවුන් ද භක්තිමත් අන්දමින් ඇදහූ භික්ෂුවක වීම නිසා ද උන්වහන්සේ පිළිබඳ මෙ බඳු හැඳින්වීම් දක්නා ලැබේ.

* සැළලිහිනි සන්දේශයේ එන කැලණි විහාර වර්ණනය කවියා විසින් මේ මතයන්ට එල්ල කළ සූක්ෂම ප්‍රහාරයක් වැන්න. කැලණි විහාර වර්ණනය පමණක් ම නොව සන්දේශයේ සමස්තය පුරා ම කවියාගේ බොදු බැතිය හා චින්තනය ඉස්මතු වන අවස්ථා දක්නට හැකිය. එසේ වුවත් කැලණි විහාර වර්ණනය වූ කලී බොදු පූජනීයත්වය දෙස හෙළූ සෘජු නිරවුල් දෘෂ්ටියට සාධකය වෙයි.

* කිසි කලෙක පැරණි නොවන රමණීය කැලණි නගරයට ඇතුළු වන්නට සැළලිහිනියාට උපදෙස් දෙන කවියා නගරශ්‍රිය නරඹන ලෙස ද කියා සිටියි. අනතුරුව බුදුන් වහන්සේ නවගුණ කියැවෙන මන්ත්‍ර පාඨය සිහි කරමින් කැලණි විහාරයට ඇතුළු වන්නැ යි දන්වා සිටියි. කැලණි විහාරයට ඇතුළු වන සැළලිහිනියාට ඉක්බිති උපදෙස් ලැබෙන්නේ පහත දැක්වෙන පූජනීය හා වන්දනීය ස්මාරක හා ස්ථාන වැඳ පැදකුණු කරන ලෙසය.

- ලංකාතිලක පිළිමගෙයි වැඩ සිටි මහා පිළිමය.
- ශිලාමය ප්‍රතිමා වහන්සේ.
- මලියදේව හිමි බණ දෙසූ සත්මහල් ප්‍රාසාදය.
- වටදාගෙයි බබළන දාගැබ්.
- පෑළ දිග පායෙහි සැතපෙන පිළිම වහන්සේ.
- මහා දාගැබ.
- නා පිළිමගෙයි ප්‍රතිමා වහන්සේ.
- සමාධි පිළිමය.
- බෝධි රාජයාණන් වහන්සේ.
- තිවංක දෙපිළම වහන්සේ.
- සිවුරු දාගැබ.
- වැඩ සිටි පිළිමය.

මේ ආකාරයෙන් සැළලිහිණියාට නැමදීමට නියම කළ ස්ථාන දොළොසකි.

කැලණිය විහාර වර්ණනයේ විශේෂතා කිහිපයකි.

1. අනුපම වූ බුදුගුණ අකලංක හා නිර්ව්‍යාජ ගුණයෙන් යුතුව කවියා ඉදිරිපත් කරයි. අකාලික වූ ස්වර්ග මෝක්ෂ නැතහොත් දෙව් නිවන් සැප ලබනු උදෙසා සම්බුදු සරණෙහි එකඟ වීම කවියා අවධාරණය කරයි. මෙහි දී හැඟී යන්නේ කවියා සියලු දේවබ්‍රහ්මාදීන් අභිබවා තිලෝගුරු බුදුරදුන්ගේ ගුණ සමුච්චය ප්‍රකාශ කරන බවකි.

- දිය තෙක් පැතිර සිටි බුදුගුණ කියා හැම (60)
- දිගුනෙත් නිලුපුලෙව් රතදර පබල රඟ (64)
- සසරින් මුදා ලෙව් සදහම් අමා දී (67)

2. බුදුන් වහන්සේගේ තෘතිය ලංකාගමනය හුදු ජනප්‍රවාදයක් හෝ කල්පිතයක් නොව සත්‍ය සිද්ධියකැයි සාධනය කළ හැකි කරුණු කැලණි විහාර වර්ණනාවේ එයි. එ මෙන් ම උන්වහන්සේගේ ලංකාගමනය හා බැදුණු සිද්ධීන් ද මහත් බැතියෙන් යුතුව කවියා හුවා දක්වයි.


- අහසින් අවුත් මිණි අක් නයිඳු යැදුමට (65)
- සමනොළ ගිර ගිජිඳු දිගු කළ සොඩෙක සැටි (70)


3. බුද්ධ චරිතය හා බැඳුණු ඇතැම් සුවිශේෂ සිදුවීම් කවියා පූජනීය ස්ථාන වන්දනය හා සමවාය කරයි. සාම්ප්‍රදායිකව වර්ණිත බුද්ධ චරිතයේ ඇතැම් සිදුවීම්හි විස්මයාර්ථ බවත් දක්නා ලැබුණේ වී ද කැලණි විහාර වර්ණනය තුළ ඒවා ගැබ් කිරීමෙන් පෙනී යන්නේ කවියා ඒ සිද්ධීන් හා එකඟ වන බව ය. එ මෙන් ම කවියාගේ බොදු බැතිය එ බඳු එකඟතාවකට තුඩු දෙන්නට ඇත.


- සවන සතිය වැසි වසිනා දස දිගෙහි (66)
- අප මුනිඳුන් බුදුවන දින මුරුන් පිදූ (68)

4. ධර්මය, රාජත්වය හා කැලණි විහාරය සමඟ බැඳුණු ඓතිහාසික සිදුවීම් කිහිපයක් ද විහාර වර්ණනාවේ එයි. හුදු අතිශයෝක්තිය බැහැර කළ කල එ බඳු ස්ද්ධීන්හි සත්‍යාත්මක බව පිළිගත හැකිය.


- පෙර දලනිඳු දිය කඳ රට බිම් ගලත (61)
- ගිලිය නොදී සැට මහණන් බව මහණ (62)
- නිරිඳුන් කැලණි තිස් නිවැරදි රහත් තැන (71)

5. කැලණි විහාර වර්ණනය තුළ දී කතුවරයා විහාර බිමෙහි ඇති නොයෙකුත් විහාර, දාගැබ්, පිළිම ගෙවල් ආදී පූජ්‍ය ස්ථාන පිළිබඳ කරන විස්තරය ඓතිහාසික අර්ථයෙන් තවත් වැදගත් යමක් දරයි. එ නම් කෝට්ටේ යුගයේ දී කැලණි විහාරස්ථානය පැවති සැබෑ තත්ත්වය නැතහොත් විහාරික ස්වරූපය පිළිබඳ මනා අවබෝධයක් මේ අයුරින් ලැබීම යි. ඒ සියලු පූජනීය ස්ථාන පිළිබඳ කරන වර්ණනය මගිනි.

* සමස්තයක් වශයෙන් ගත් කල කතුවරයාගේ අකලංක බෞද්ධාගමික චින්තනය මේ වර්ණනය තුළ ප්‍රකට වෙයි. එය අව්‍යාජ ය. නිරවුල් ය. තථ්‍ය ය. එසේ නමුත් මෙහි කවියාගේ කාව්‍ය සංකල්පනා යොදවා කරන ලද වර්ණනා කිසිවක් නැත. මෙ හෙයින් සිද්ධස්ථානයක් වශයෙන් කැලණි විහාරය වර්ණනා කිරීම සැදැහැ සිතිනුත්, සත්‍ය ලෙසිනුත් කිරීමට කවියා සැලකිල්ලක් දක්වා ඇති වග පෙනේ.

* කැලණි විහාර පරිසරය බැති බර වපසරියක් කරන්නට කවියා, උත්සාහ දරා ඇති බව නොරහසකි. එහෙත් කැලණි විහාරය හා බැඳුණු කැලණි ජනතාවගේ භක්තිවන්ත බොදු චින්තනය පිළිබඳ ප්‍රකාශ නොවීම අඩුවකැ යි හැඟේ.

(c) Shilpa Sayura Foundation 2006-2017