ජයවර්ධන පුරයේ සිට කැලණි පුරය දක්වා මාර්ග වර්ණනය කවියාගේ කාව්‍ය වර්ණනා චාතුර්ය පමණක් නොව සමස්ත නිර්මාණය ද සාර්ථකව කුළු ගන්වයි. මේ මතය සාකච්ඡා කරන්න.
* සන්දේශයක් තුළ නගර, ගම්, සිදුවීම්, පුද්ගලයන්, මාර්ග, දේශාදී වර්ණනයන් අනිවාර්යයෙන් ඇතුළත් විය යුත්තේ එය
සන්දේශ කාව්‍යයක මූලික ලක්ෂණයක් වන බැවිනි. මාර්ග වර්ණනය හුදෙක් මාර්ගාශ්‍රිත ස්වභාව සෞන්දර්ය වර්ණනා කරනු
පමණක් නොව ඒ හා බැඳුණු නගර - ග්‍රාම - දේශ පුද්ගල ආදී වර්ණනයන්ගෙන් ද සමන්විත වූවක් වෙයි.
* සාම්ප්‍රදායික සන්දේශ තුළ එන මඟ වැනුම කරුණු කිහිපයක් නිසා වැදගත් වෙයි.
1. වැදගත් ම කරුණ නම් සන්දේශ කවීන්ට ස්වකීය ස්වීයත්වය ත්, ස්වාධීනතාව ත් පෙන්වීමට තිබූ හොඳ ම අවස්ථාව
මාර්ග දේශාදී වර්ණනා වීම යි. ගතානුගතිකත්වයට වඩා නැඹුරු වූ දූත, පුර, රජ හා දියකෙළි ආදී වර්ණනාවන්හි දී
නිත්‍ය වශයෙන් තිබූ බැඳීම් හා සාම්ප්‍රදායික සීමා ඉක්මවා යන්නට ඔවුන්ට අවස්ථා ලැබුණේ මාර්ග වර්ණනයේ දී ය.
එහි දී ඔවුන්ට ස්වකීය අව්‍යාජ හැඟීම් හා සංවේදනා ප්‍රතිනිර්මාණය කිරීමේ අවස්ථාව ලැබිණ. එහෙත් මෙම අවස්ථාවෙන්
විපුල ඵල නෙළා ගත් ප්‍රශස්ත සන්දේශකරුවන් දක්නට ලැබීම දුෂ්කරය. ඒ අතර පැහැදිලිව ම නම් කළ හැකි අයෙකු
වේ නම් ඒ හංස කවියා පමණී. එහෙත් සැළලිහිණි කතුවර රාහුල හිමියන් ද එබඳු ස්වාධීන ගති ලක්ෂණ පළ
නොකරන්නේ නොවේ.
2. සන්දේශකරුවන්ට ස්වකීය වර්ණනා චාතුර්ය සහ ප්‍රතිභා ශක්තිය ප්‍රකාශ කිරීමට තිබූ අනර්ඝ අවස්ථාවකි මාර්ග
වර්ණනය. විටෙක ස්වභාවෝක්තියටත් තවත් විටෙක අතිශෝක්තියටත් නැඹුරු වෙමින් තම තමන්ගේ වර්ණනා
චාතුර්ය හා ප්‍රතිභා ශක්තිය පළ කිරීමට කවීන් උත්සුක වූ අයුරු සන්දේශ සාහිත්‍යය විමසන කල පැහැදිලි වේ.
3. සමකාලීන සමාජ-සංස්කෘතික-දේශපාලන-ආර්ථික තොරතුරු දැන ගැනීමේ හොඳ ම මූලාශ්‍රයක් ලෙස සන්දේශ කාව්‍ය
වැදගත් වෙයි. ඉනිදු මාර්ග වර්ණනාව ප්‍රබලව පෙරට විත් සමකාලීන සමාජයේ නිරවද්‍ය තථ්‍ය ස්වරූපය බොහෝ
විට වර්ණනා රීතියෙන් වුව ද ප්‍රකට කරයි.
4. මාර්හ දේශාදී වර්ණනයන්හි දී බොහෝ කවීන් ස්වභාවෝක්තියට නැඹුරුව ස්වභාව සෞන්දර්ය වින්දනය කොට,
මනාව ස්වකීය කෘතියට ගළපා ගනී. ඒ අතින් ස්වභාව සෞන්දර්යයේ අව්‍යාජ සුගන්ධයත්, එය ජන ජීවිතය,
විශේෂයෙන් සිංහල බෞද්ධ සමාජය හා බැඳී තිබූ ආකාරයත් සන්දේශ සාහිත්‍යයේ මනාව ප්‍රකට වෙයි.
* සැළලිහිණි සන්දේශයේ මාර්ග වර්ණනය පිළිබඳ විමසන කල ඉහත දැක්වූ කරුණු පදනමක් කර ගැනීම
අත්‍යවශ්‍ය වෙයි. මන්ද යත් සැළලිහිණියේ මාර්ග වර්ණනය විශේෂතාවකින් සාකචෛඡා කළ හැකි හෙයිනි.
* ප්‍රථම වශයෙන් සැළලිහිණියේ මාර්ග වර්ණනයට තුඩු දෙන මාර්ග විස්තරය හඳුනා ගැනීම වැදගත් ය.
ඒ අනුව දළදා වන්දනය කොට, රජු බැහැ දැක, අවසර ගන්නා සැළලිහිණියා මග ගෙවා කැලණි පුරයට පැමිණෙයි.
ඔහු එ තැන් දක්වා පහත සඳහන් අවස්ථා පසු කරයි.
- කොන්ත ගං තොටින් පියාසර කිරීම.
- ඊශ්වර කෝවිලේ (ඉසුරු කෝවිල) රාත්‍රිය ගත කිරීම.
- ඉසුරු කෝවිලෙහි රාත්‍රිය ගත කොට පසු දා හිමිදිරියෙහි පිටත් වන සැළලිහිණියා නැගෙනහිරින් සමනොළ
පර්වතයත්, දකුණින් මහසෙන් දෙව්රද පායත්, උතුරින් මහා සාගරයත් දකියි.
- වැලිතලාවේ විවේක ගැනීම.
- සේනානායක සපුමල් කුමරු දැකීම.
- සුදු වැලි තලාවේ බැස යාම.
- කයිකාවල මුර පොළ දැකීම.
- සුමුටාන වනාන්තරයට ඇතුළු වීම.
- ගුරුබැවුල පසු කිරීම.
- සිහිල් දිය හෙබ (ගැඹුරු ජලාශය) දැක යාම
- අස්වැද්දුණු ගුරුළු කෙත දැක යාම
- වෙළඳගොඩ පසු කිරීම.
- වෙරළාන මහ වෙල්යාය පසු කිරීම.
- කිත්සිරි මෙවන් විහාරයට ඇතුළු වීම.
- කැලණි ගඟබඩ විවේක ගැනීම.
- මස්කෙළිය පසු කිරීම.
- කැලණියට ළඟා වීම.