ජයවර්ධනපුර නගර වර්ණනාව
 

ජයවර්ධනපුර නගර වර්ණනාව නගරයේ යසාශ්‍රීය පමණක් නොව සෞන්දර්යවාදී අව්‍යාජ කවියෙකුගේ ප්‍රතිභාව ද මනෝභාව ද හෙළි කරයි. මේ කියමන කොතෙක් දුරට සත්‍යවේදැයි විමසන්න.


* මාර්ග, දේශ, පුර ආදිය වර්ණනා කිරීම සන්දේශ සම්ප්‍රදායෙහි අනිවාර්ය අංගයක් වෙයි. ඒ අතර දූතයා පිටත් වන පුරය පිළිබඳ සුවිශේෂයෙන් වර්ණනා කිරීමට සෑම සන්දේශකරුවා ම උත්සාහ දරා තිබේ.

* සැළලිහිණියා පිටත් වන්නේ ශ්‍රී ජයවර්ධන පුරයෙනි. එ නිසා සැළලිහිණි කතුවරයා ජයවර්ධන පුරය සුවිශේෂයෙන් වර්ණනා කරයි. කවියා මෙහි දී සෘජුව ම පද්‍ය 8 ක් පමණ යොදා ගනී. සන්දේශයක් තුළ විශේෂ නගරයක් වර්ණනා කිරීමේ දී ඊට මුල් වන පොදු කරුණු කිහිපයකි. දිය අගල, පවුර, මැඳුරු-සඳළු තල, පුරාංගනාවන්, නගරයේ ඉසුරුමත් ඵෙශ්චර්ය යනාදිය යි. මේ නිසා සන්දේශ තුළ වැඩි වශයෙන් වර්ණනාවට ලක් වී ඇති ජයවර්ධනපුරය, කැළණිය, ගම්පොළ හෝ සීතාවක නගරය ආදිය ගැන දක්නා ලැබෙන්නේ පොදු සමාන ලක්ෂණයන් ය. සැළලිහිණියට ද මෙය පොදු ලක්ෂණයක් වෙයි. එහෙත් විශේෂය වන්නේ ගතානුගතිකත්වය දක්නා ලැබුණ ද ගතානුගතිකත්වය ඉක්මවා යන නිසඟ සෞන්දර්යයක් ඇති කෙරෙන අන්දමින් වර්ණනා කිරීම යි.

* සන්දේශයට අදාළ විශේෂ නගර වර්ණනා කිරීමේ දී එකී නගරයෙහි යසාශ්‍රිය ඉස්මතු කොට දැක්වීමට සන්දේශකරුවෝ අභිරුචියක් දක්වති. සැළලිහිණිකරුවා ද මේ අනුව යමින් ජයවර්ධනපුර යසාශ්‍රිය අතිශයෝක්තියෙන් නමුත් ප්‍රතිභාන්විතව වර්ණනා කරයි. -

- පොහොසත්දන ඇති තුනුරුවන බැති පෙමා (7)
- තරසර හිවිමහල් මෙහි පහපෙළ නිතොර (12)
- සොඳුරු සිය නදන් අනුතුරු දෙස සිටින (14)

* නගරයක් ගොඩ නැගෙන්නේ බොහෝ විට ස්වභාව ධර්මයේ අංග වෙනස් කරමිනි. විනාශ කරමිනි. එකී නගරය බොහෝ විට කෘත්‍රීම වෙයි. කඨෝර වෙයි. එහෙත් කවියා ඉස්මතු කොට දක්වන නගරය සුන්දර වූවක් වෙයි. එය මනහර කවි කල්පිතයක් පමණක් නොවේ. සුපහන් සෞන්දර්යයක් දනවන්නකි.

- සැදි රත තඹර පෙළ රන තිසරුන් රුවැති (8)
- සිහිල් සපු සුවඳ ගෙන එන උයන්වල (11)

නගරයේ ඉසුරුමත් බව ද එකී සෞන්දර්යයට හේතු වෙයි.

* ජයවර්ධන පුරය යසාශ්‍රියට සාක්ෂි දරන මෙන් ම පුරය චමත්කාරජනක ප්‍රිය වාසයක් සේ දනවන අදහස් ජයවර්ධනපුර වර්ණනාවේ එයි.

1. කවියා ජයවර්ධන පුරය කාන්තාවක සේ නිරූපණය කරයි.

- සැදි රත තඹර පෙළ රන තිසරුන් රුවැති (8)

නගරය වටා ඇති දිය අගල කවියා එහි දී පුරඅඟන ඇදි පටසළු ලෙස දකියි.

2. නගර ආරක්ෂාවට තනන ලද එ මෙන් ම නගරයේ සමෘද්ධිමත් බව හඟවන නගර ප්‍රකාරය කවියා දකින්නේ ඇඳ අතැර දැමූ තනපටක ලෙසිනි.

- සමනොළ මුහුළ මහ සමුදුර මෙවුල් බර (9)

ගඩොලින්, වැලියෙන්, බදාමයෙන් තැනුණු අසුන්දර පවුර කතකගේ තනපටයට උවම් කිරීමෙන් කවියා සුන්දර හැඟුම් දනවයි.

3. කවියා පුර කාන්තාවන් වර්ණනය කරන්නේ දිව්‍යාංගනාවන් පිළිබඳ කල්පනයන් සිත්හි දරා ගෙන ය.

- සිසිවන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින (13)

කවියා කියන්නේ නගරයේ මෙ වැනි කතුන් සිටින බවක් නොව එ වැනි කතුන් සිටිය මනා යැයි ආශා ඉපිද වීමකි. එය සෞන්දර්යවාදී කවියෙකුගේ මනෝභාව හෙළි කරන්නකි.

4. සපු මල් පිස හමන සිහිල් සුවඳ, කිංකිණි හා රතු චාමර සසල කරන බව ද, රන් ධජ ලෙළවන බව ද එකී ධජ පන්තිය නගරයේ සූර්ය තාපය වැළකු බව ද කවියා කියයි.

- සිහිල් සපු සුවඳ ගෙන එන උයන්වල (11)

* මේ අදහස් සියල්ල ම ජනිත කරන්නේ අප්‍රමාණ ආනන්දයකි. චමත්කාරයකි. ආස්වාදජනක වින්දනයකි. එ වැන්නකට තුඩු දෙන කවි සිතුවිලි ජනනය කළ හැක්කේ අව්‍යාජ කවියෙකුට පමණී. ප්‍රතිභා පූර්ණ කවියෙකුට පමණී. කවියා භික්ෂුවක වුව ද මාර්ගඵල නොලද පෘථග්ජන හිමිනමකි. සොබාසිරි, පුරසිරි, කාන්තා රුසිරි ආදිය උන්වහන්සේ දකියි. ඒවා වින්දනය කරයි. ආශා උපදවයි. උන්වහන්සේ අව්‍යාජ කවියෙකු ලෙස ප්‍රතිනිර්මාණය කරන්නේ එකී වේදයිතයන් ය. සංකල්පයන් ය. ප්‍රවාහයක් සේ ගලා එන කවි සිතුවිලිවලට නගරය, ස්වභාව ධර්මය, කාන්තාව රමණීය වස්තු බීජයන් ය.

* භික්ෂුවක වශයෙන් වුව ද කවියාගේ මනෝභාව ජයවර්ධන පුර වර්ණනාව තුළින් හෙළි වෙයි.

- පොහොසද්ද ඇති තුනුරුවන බැති පෙමා (7)

සියලු ලෞකික හා භෞතික සෞන්දර්යයන් ජනනය කිරීමට පෙර කවියා සිහි කරන්නේ අධ්‍යාත්මික පාරිශුද්ධතාව දෙන තෙරුවන පිළිබඳව ය. තෙරුවන පිළිපඳින භක්තිවන්ත ජනතාව පිළිබඳව ය.

* ජයවර්ධන පුර වර්ණනාව පුරයේ යසාශ්‍රීය, සෞන්දර්ය කලඑළි දක්වන්නේ වුවත් එකී සෞන්දර්ය තුළින් වෙනත් කරුණක් ද ඉස්මතු වෙයි. එ නම් නගරයක ඇත්තා වූ සාපේක්ෂ කටුකත්වය, තදබදය, කෘත්‍රීම බව ජයවර්ධන පුර වර්ණනාවද නොපෙන්වනවා ම නොවේ යන්න යි.

- දුවන බඳ කිකිණි හයකුර පහර නද (10)
- තරසර හිවිමහල් පහපෙළ නිතොර (13)

(c) Shilpa Sayura Foundation 2006-2017