කොහොඹා කංකාරිය හා සම්බන්ධ පුරාවෘත්ත කතාව
   කොහොඹා කංකාරිය හා සම්බන්ධ පුරාවෘත්ත කතාවයි මේ..
විජය රජු කුවේණිය අතහැර ඇයට දුන් පොරොන්දු ඉටු නොකරමින් ක්‍රියා කලේය. මෙයින් විරසක වූ කුවේණිය කල ශාපය හේතුවෙන් විජය රජුට දිවි දෝශයක් වැලඳී එතුමා මිය ගියේය. එතුමාගේ වියෝවෙන් පසු රජ පැමිණි පඩුවස්‌දෙව් රජුටද මෙම දිවි දෝශය වැලදිනි. මේ පුවත දුටු සක්‌දෙව් රජු එය සුව කිරීමෙහි ලා සමත් එකම පුද්ගලයා මලය දේශයේ මලය රජු බව දැන ගත්තේය.මලය රජූ ලක්‌දිවට ගෙන්වීමේ කාර්ය භාර්ය ඊශ්වර දෙවියන්ට බාර කලේය. 
 
මලය රජු ලක්‌දිව කැඳවීමට සමතා රාහූ අසුරේන්ද්‍රයා බව දත් ඊශ්වර දෙවිතෙමේ එම කර්ත්ව්‍යය රාහූ අසුරයා වෙත පවරන ලදි. වහා ඌරකුගේ වෙස්‌ගත් රාහු අසුරයා මලය රජුට අයත් නන්දන උයනට වැද මුලු උයනම පාලූ කලේය. උයන්පල්ලන් විසින් මේ බව රජුට සැල කරනු ලදුව, රජු දුනුවායන් ලවා ඌරා ඇල්ලීමට පිටත් කලහ. නමුත් රජුගේ දුනුවායන්ට එය කල නොහැක්‌කක්‌ විය.

මේ බව සැලවූ මලය රජු තම සොහොයුරන් දෙදෙනාද කැටුව ඌරා පසුපස හඹා ගියේය.ඌරා හී පහරවලින් මිදී ලංකදීපයේ හන්තාන ගල අඩවියට වැදුනේය. මෙහිදී ඌරා වෙත එල්ල කල හී පාරක්‌ වැදී එකෙනෙහිම ඌ ගලක්‌ බවට පත්විය. මේ අවස්‌ථාවේදී එතැන පෙනී උන් සක්‍ර දෙවියන් විසින් මලය රජුට කාරනය වටහා දුන්නේය. 
 
නමුත් තමාගේ රජ කුල සිරිත් අනුව රජ කෙනෙකුට තවත් රජෙකු විසින් ප්‍රතිකාර ආවැඩීම් කල නොහැකි විය. පසුව මලය රජු තම රටින් බ්‍රාහ්මණයින් ගෙන්වා කොහොඹා තුන් කට්‌ටුව ප්‍රධාන සැටපස්‌ මංගල්‍යයක්‌ කර පඩුවස්‌දෙව් රජුගේ දිවි දෝශය සමනය කලේය. මෙම ශාන්ති කර්මය පවත්වනු ලැබුයේ අනුරධපුරයේ මහමෙවුනා උයනේදී බව පැවසේ.
(c) Shilpa Sayura Foundation 2006-2017