ඉන්ධන විදුම් පොම්පය (Fuel Injection pump)
  ඉන්ධන විදුම් පොම්පයේ ප්‍රධානතම කාර්යය නම් දහනයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය නියමිත පීඩනයක් යටතේ, නිසි අවස්ථාවේ ඩීසල් විදිනයට සැපයීමයි. මෙම විදුම් පොම්ප ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදා දැක්විය හැකි ය.

1. එකෙලි විදුම් පොම්පය - Inline injection pump
2. භ්‍රමක වර්ගයේ විදුම් පොම්පය - Rotary type injection pump

එන්ජිමේ ඇති සිලින්ඩර ගණනට සමාන වූ මූලාවයවයන් ගණනක් මෙහි අන්තර්ගතය. උදාහරණයක් ලෙස සිලින්ඩර හතරක එන්ජිමක් නම්, විදුම් පොම්පයේ මුලාවයවයන් හතරක් තිබිය යුතු ය.

එකෙලි වර්ගයේ විදුම් පොම්පයක මූලාවයවය නළකඳ සහ නිමජ්ජකය යන කොටස් දෙකකින් සමන්විත ය. ඉන්ධන පොම්පයේ යටි කොටසේ කැමි දණ්ඩක් ඇත. එහි එක් කෙළවරක මුහුර්තන දැති රෝදයක් සම්බන්ධ කර ඇති අතර එය එන්ජිම සමඟ මුහුර්තනය කරකැවීමට යන්ත්‍රණයක් යොදා ඇත. එක් එක් නළ කඳකට ටැපැට්ටුවක් හරහා සම්බන්ධ වූ කැමි නාසයක් ඇත.

කැමි නාසයන් කරකැවෙන විට නළකඳ අභ්‍යන්තරයේ පවතින නිමජ්ජකය එහි ඇති දුන්න තෙරපමින් ඉහළට ගමන් කරයි. ටැපට්ටුවෙන් කැමි නාසය ඉවත් වූ පසු දුන්න මගින් නිමජ්ජක පහළට තල්ලු කෙරෙයි. එසේ ම නිමජ්ජකය ඉහළට ගමන් කරත් ම "D" වෑල්වයක් හරහා ඉන්ධන අධි පීඩන නළය ඔස්සේ ඉන්ධන විඳිනය වෙත ගමන් කරයි.

වැඩි ජවයක් අවශ්‍ය වූ විට ත්වරණ පාදිකය පෑගීමේ දී සිදුවන්නේ පාලන දැති තලව්ව ඉදිරියට තල්ලු කොට නළකඳ කරකැවීමෙන් (නිමජ්ජකවල නිර්මාණය අනුව) සැපයෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කර ගැනීම ය.
(c) Shilpa Sayura Foundation 2006-2017