උඩරට නැටුම් සම්ප්‍රදායට අයත් ප්‍රධාන වාද්‍ය භාණ්‌ඩය ලෙස සැලකෙන්නේ ගැට බෙරයයි. මෙය මගුල් බෙරය, මංගල බෙරය, උඩරට බෙරය යන නම් වලින්ද හදුන්වනු ලබයි. ගැට බෙරයට අමතරව උඩරට නැටුම් සඳහා දවුල්, තම්මැට්‌ටම්, උඩැක්‌කි, පන්තේරු, තාලම් පොට වැනි වාද්‍ය භාණ්‌ඩ භාවිතා කරතත්, මෙකී භාණ්‌ඩ අනෙකුත් නැටුම් සම්ප්‍රදායන් තුලද භාවිතා කරන වාද්‍ය භාණ්‌ඩ වේ. නමුත් ගැට බෙරය උඩරට නැටුමේ සුවිශේෂී වාද්‍ය භාණ්‌ඩයක් වේ.
ගැට බෙරය
උඩරට නැටුම් සම්ප්‍රදායට පමණක් ආවේණික වූ ආතත ගණයට අයත් අවනද්ධ වර්ගයේ වාද්‍ය භාණ්‌ඩයකි. ගැට බෙරය යන නම ලැබී ඇත්තේ, එහි බාහිර පෙනුමෙන් පෙනෙන හැඩය මැදින් උස්‌වූ ගැටයක් වැනි ස්‌වභවයක් ගන්නා බැවිනි.
දැව හා සම් වලින් නිශ්පාදිතය. බෙර කඳ සකස් කරනුයේ, ඇහැළ , කොස්, ගංසූරිය, කොහොඹ වැනි විශේෂ දැව කොටයක් බාවිතා කරමිනි. බොහෝවිට හරක් හම් භාවිත කරමින් මෙහි වරපට, වෙනිවැර හා කැපුම් හම සකස් කරයි. බෙරයේ ඇස් ( බෙර තට්‌ටුව ) සඳහා දකුණු ඇසට වඳුරු, තලගොයි හෝ එළු හම්ද , වම් ඇසට හරක් හමක් ද භාවිතා කරයි.
බෙර කඳ සඳහා යොදාගන්නා කොටය ඇතුලත කුහරක් වන සේ හාරා ගනු ලබයි. මෙම කඳ හෑරීමෙදී නියමිත ප්‍රමිතියක් අනුව කරනු ලබයි. මෙම ප්‍රමිතියට හේතු වන්නේ බෙර හඬ හා නියමිත අක්‍ෂර වාදනයට හඬ ඉපදවීමට බෙර කඳේ කුහරය ප්‍රධාන සාධකයක් වන හෙයිනි. එලෙසම බෙර කදේ දිග පලල හා බෙර ඇස් වල දිග පළල විශ්කම්භයද නියමිත ප්‍රමිතියකට අනුව සාදනු ලබයි. ගැට බෙරය වියත් තුනක් හා අඟල් තුනක් දිග ඇතිව ( අඟල් 28ක් පමණ) සාදයි. වම් බෙර ඇස දකුණු බෙර ඇසට වඩා කුඩාය.
ගැට බෙරයෙන් නිපදවන හඬ ඊටම ආවේනික හඬක් වන අතර වෙනත් කිසිඳු බෙරයකින් මෙම හඬවල් නූපදියි. ගැටබෙරයෙන් උපදින ප්‍රධන අක්‍ෂර 4කි. මෙවා බිජාක්‍ෂර නමින් හැදින්වේ. ගැටබෙරයේ උපදින ප්‍රධාන බීජාක්‍ෂර හතර නම්,
තත්, ජිත්, තොන්, නන්
මෙහිදී තත් හා තොන් අක්‍ෂර වම් බෙර ඇසින්ද, ජිත් හා නන් ස්‌වර දකුණු බෙර ඇසිනුත් ඉපදේ. බිජාක්‍ෂර වලට අමතරව ගර්භාක්‍ෂර හා අනුගර්භාක්‍ෂර ද ගැට බෙරයෙන් ඉපදේ. "ත,ට,ද,න" වැනි ගර්භාක්‍ෂරත්, "තරි, දිරි,කුඳ,ජිබ්ඩ" වැනි අනුගර්භාක්‍ෂර ද ගැටබෙරයෙන් උපදී.
ආධුනික වාදන ශිල්පියා විසින් ගැට බෙර වාදනය ප්‍රගුණ කිරීමට නම් මූලික පද දොලොසකින් යුත් සරඹ මාලාවක් උගෙන ගත යුතුය. ශ්‍රී ලංකීය දේශිය වාද්‍ය භාණ්‌ඩ අතර ප්‍රධාන තැනක් මෙම ගැට බෙරයට හිමිය. ගැට බෙරයෙන් උපදින හඬ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය මැනවින් කියාපායි.
01. බෙර පද
02. වරපට
03. දකුණු ඇස
04. වම් ඇස
05. බෙර පුහුළ
06. කයිපුඩු වළල්ල
07. වෙනිවැර කැරැල්ල
08. කන්වරය
09. බෙර ලණුව
10. කැපුම් හම
11. සුරත් තට්‌ටුව
උඩැක්‌කිය
සබ නැටුම් සඳහා භාවිතා කරන උඩැක්‌කිය උඩරට නැටුම් සම්ප්‍රදාය තුල භාවිතා කෙරෙන අතත ගණයට අයත් තූර්ය භාණ්‌ඩයකි. දේශීය වාදන භාණ්‌ඩ අතර ඉතා ප්‍රචලිත මෙම වාද්‍ය භාණ්‌ඩය, පහතරට හා සබරගමු නැටුම් සම්ප්‍රදායන් තුල ඇතැම් ශාන්තිකර්ම වලදී භාවිතා කරනු දැකිය හැකිය.
වියතකුත් අඟල් තුනකින් දිගින් යුත් බෙර කඳ මැදින් සිහින් හා දෙපස මහතින් යුතු හැඩයක් ගනී. සිහින් කඳවටා වලලක් වැනි රෙදි වලින් කළ සවරමක් දමා තිබේ. මෙම සවරම තද කිරීමෙන් හා ලිහිල් කිරීමෙන් උඩැක්‌කියේ හඬ පාලනය කරනු ලබයි.
තාලම්පට
දේශීය නර්තන සම්ප්‍රදායන් හී තාල තබන ප්‍රධාන වාද්‍ය භාණ්‌ඩයකි තාලම්පට. තාලම් පට උඩරට නැටුම් සම්ප්‍රදාය තුල බහුලව භාවිතා වන අතර උඩරට නැටුම් අතර විශේෂ සබඳතාවයක් ද පවතී.
ලෝහයෙන් කල පියන්පත් දෙකකින් යුත් තාලම් පොට ඝණ වර්ගයට අයත් තූර්ය භාණ්‌ඩයකි. පියන් පත් තුල මැද ඇති සිදුරට නූලක් යවා එය අතින් අල්ලා ගත හැකිවන පරිදි සකස් කර ඇත. මෙම පියන්පත් එකිනෙක ගැටීමෙන් හඬ උපදවයි. තාලම් පොටින් උපදින ප්‍රධාන හඬවල් දෙකකි. ඒ තිත් හා තෙයි යන හඬ දෙකයි. ක්‍ෂානාන්ත නාදයක් වන තිත් හඬ මතුවන්නේ තාලම් පොටේ පියන්පත් විවෘත නොවනසේ එකට ගැසීමෙනි. මෙම හඬ උපන් සැනින්ම අවසන් වේ. තාලම් පොටේ පියන්පත් විවෘත වන සේ වැයීමෙන් තෙයි හඬ ඉපදේ. මෙම හඬ බොහෝ වෙලාවක් විහිදෙන බැවින් හීනන්ත නාදයක් ලෙස හදුන්වයි.
තාලම්පට භාවිතා කරමින් කරන ගැමි නැටුමකි තාලම් නැටුම. පහතරට නැටුමේ එන වඩිග පටුන නැටුම සඳහාද තාලම්පට වාදනය කරනු ලබයි.