සිව්වන අංකය (දෙවෙනි කොටස)
 



සිංහයා : සින්දුව

සිංහබා නම් මේ ම පුතා නොවේ දෝ
දෑසට පෙනෙනා - අදහමි කෙලෙසා
සොයමින මා ආව ද වන පෙතටා
කැටුව ද මව හා හුරතල් නැගණිය
මා මරනට ආ නරයෙකි සිතුවෙමි
බිය නො ව සිප ගන්නට දෙව අවසර


සිංහබාහු : සින්දුව


මේ මළු වගු රට වෙසෙනා දන හට
දුක් දෙන මෘග රාජය නුඹ නොවෙ දෝ
සොයමින් නුඹ ආවෙමි වන පෙතටා
අවසන් කරනට කුරිරු ක්‍රියා ඒ
නෙක බල ඇණි හා යෝධ පුරුෂයන්
පැරදුණ මුත් මම ආවෙමි එකලා
මුදවන අටියෙන් මා රට වැසියන්
පැමිණ තිබෙන මේ ගොරතර විපතින්


(හීයෙන් විඳියි)


ගායක පිරිස : ඉන්නිස ගීතය


වියොවින් වියරු වැටුණු ඒ රුදු කෙසරින්දා
දැක පුතුගෙ වත
තුරු හිසින් නැඟි
සේ තරින්දා
පිබිදුණි මන කොඳ හට ගත් පෙමින අමන්දා
වැටුණි සර බිම
මෙත් බෙලෙන් ඇඟ
මස නොසින්දා


පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැඳ
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා


සිංහයා : සින්දුව


මා හඳුනන්නට බැරිව ද මා පුතු
හී සැරයෙන් මට මෙලෙස විඳින්නේ
මා හට රොස් වූයේ දෝ නො දනිමි
බියෙන් ද නැතහොත් මේ හැසිරෙන්නේ


සිංහයා : වචනය


නුඹේ මව හා නුඹ ද නුඹ නැගණිය ද සොයමින් මම මෙ තෙක් කල් ඇවිද්දෙමි. ඔවුන්ගේ සුව දුක් දැන ගනු කැමැත්තෙමි. මම නුඹට හිංසා නොකරමි. සිතට බිය නො ගෙන, දුනු හී පසෙක තබා මා වෙත එව.


සිංහබාහු : වචනය


ආදර වදනින් අමතන ම පියා
කෙලෙස ද මා දැඩි සිතින් මරන්නේ


කුරිරු ක්‍රියා ඔහු මෙ ලෙස කරන්නේ
වියෝ දුකින් නොවැ මව කීවා සේ


රුදු මගිදෙකු වුව අප හට නිරතුරු
කරුණා බස් මිස දොඩලා නැත කිසි


උණු වුව හොත් සිත අනුකම්පාවෙන්
කරන්ට නොහැකිය මා සතු යුතුකම


විඳිනෙමි මේ වර නො ම වරදින ලෙස
සිප ගන්නට එන කලා මා ලඟටා


(යළිත් හීයක් විඳියි)


සිංහයා : සින්දුව


ප්‍රෙමයෙන් වැඩුයේ මෙ පුතා නොවේදෝ
ආන්තරායෙන් රැක ගෙන වනයේ


මා මරනට දැන් එන්නේ මෙ ලෙසා
ඔඳ වැඩි හින්දා දෝ යෞවනයෙන්
මානය බිඳ හැර ලන්නෙමි මෙ වරා
දෙන්නෙමි දඩුවම් ඔළමොළ කමටා


(වෙතට පැමිණෙයි)


සිංහබාහු : සින්දුව


කිම ද සැරය ගොස් බිමට වැටෙන්නේ
දෙවැනි වරට වත් ඇඟ නොවඳින්නේ
කෝපය ඇවිලි දරුණු වෙතොත් මොහු
මා හට ගැලවීමක් නැත වන්නේ
තෙවැනි සැරය ගෙන නැවත විඳින්නෙමි
මා වෙත එන්නට පෙර රුදු විලසින්


(විඳියි, එය වැදී සිංහයා මැරී වැටෙයි)


ගායක පිරිස : අවසාන ඉන්නිස ගීතය


කෙලෙසුණිය මිහිඳාගේ මන කෝප මලිනා
දත් කල පුතුන්
සන්තානයේ
වූ චේතනා


බිඳුණි මෙත් බලය නිරතුරු සිත කය රකිනා
ගියෙය සර සෙද
මස සිදුරු කර
හඳ විඳිමිනා


පුතු සෙනේ පිතු හද තුළ ම මිස
නැත පුතුන් හද තුළ රදන්නේ
ඇට තුළට වැද ඇට මිදුලු මත
සදා කල් නැත දුක් දෙවන්නේ


(සිංහයා පැරීම නමැති සතරවෙනි අංකය නිමයි)


මංගලම් ගීතය

 

සරණයි සරණයි තෙරුවන් සරණයි
දෙවියෝ දෙත්වා ආසිරි සැම දා
රකිමින් පුත්‍ර දාරාදින් නෑ සිය මිතුරන්
සසරේ යාත්‍රා සුවපත් වන්නට
නොබිඳෙන්නට ජීවිත නෞකා
වේවා සැමට ම සුබ මංගලම් - මංගලම් - මංගලම්
සුබ මංගලම්

(c) Shilpa Sayura Foundation 2006-2017