සුප්පා දේවි, සිංහබාහු : තර්ගය
සුප්පා දේවි :
නොකරන් මා පුතුනේ මේ සටනා
නුඹ පාද මුල වැඳලා කියන්නෙම්
සරා මෙ ගම රට වනසන මිග රජ
හැරා වනයෙ ආ නුඹ පියතුම වේ
පරාද වෙයි නුඹ සටනින් නිසැක ව
දරා ගන්නෙ මා කෙලෙස ද එම දුක
සිංහබාහු :
ඇදහිය නොහැක මේ පුවතා
ම පියා ද මේසා කෘර කම් කරනා
දොසේ දූටත් අපගේ නොකිපෙන්නා
ලෙසේ කිරණ සොමි මුදු ගුණ ගිහිණි
රොසේ වෙමින් මුළු රට වනසන්නේ
කෙසේ ද නො දනිමි ම පියා දරුණුව
සුප්පා දේවි :
දරනට බැරි වූ වියෝගෙන්
පෙළෙනා නිසා එකලාව වනයේ
විකුම් නුඹගේ සරි වුව මිග රජු හට
අදමි නොවෙ ද පිළිමල් වනු ඔහු වෙත
තරම් නොවන මේ කටයුතු පුතෙකුට
කරම් කියා පුත නොකරන් සිත දැඩි
සිංහබාහු : වචනය
ඒ සිංහයා මගේ පියා වුව ද ඔහු අතින් මෙ රට වැසියන්ට වන්නාවූ පීඩා බලා සිටිය නො හැකිය. පෙම්බර මවුනි. මා හැර මොවුන් මේ විපතින් මුදවන්ට කෙනෙක් නැත. එහෙයින් මා දුන් පිළින කඩ නො කර මම වහා යන්නෙමි. රජතුමනි, මම ඒ සිංහයා මරා හිස ගෙන එන්නෙමි. එතෙක් කල්, වැසියන්ට පෙරළ පෙරළා තම තමන්ගේ ගෙවලට ගොස් අස්වැසි සිටින මෙන් අණ කරනු මැනවි.
යුවරජ : වචනය
මා ද මාගේ රටේ මේ අහිංසක වැසියන් ද නුඹට දිවි හිමියෙන් කෘතඥ වන බව කියනු කැමැත්තෙමි.
ගායක පිරිස : ස්තොත්‍රය
ඇන්දූ දිගංගන උර යස කුංකුමා
අන්ධකාරය දුර ලන බන්ධුකමල වූ
තේජ විකුම් රාජනේ
අන්ධකාරය දුර ලන බන්ධුකමල වූ
තේජ විකුම් රාජනේ
තාප වියෝගය නොතකා රිපුනඹුවන්
කෝප ගෙන රණ දෙරණට අසරණ සරණෙට
බට භුප සුර වීරනේ
කෝප ගෙන රණ දෙරණට අසරණ සරණෙට
බට භුප සුර වීරනේ
(යුවරජ, වැසියෝ, සිංහබාහු නික්ම යති)
සුප්පා දේවි : සින්දුව
ඇසට නැතේ දකිනේ පුතු මාගේ
නැත පෙරළා එන්නේ
සමිඳුන් හැර දා
ගිය එම දෝසෙන්
බිලි වූවෝ රුදු මරුටා
දෙදෙන ම මා පණ වූ
නැත පෙරළා එන්නේ
සමිඳුන් හැර දා
ගිය එම දෝසෙන්
බිලි වූවෝ රුදු මරුටා
දෙදෙන ම මා පණ වූ
සිංහයා රටතොට වැනසීම හා වැසියන්ගේ දුක්ගැනවිලි නමැති තුන් වැනි අංකය නිමියි.