පොතේ ඉන්නිසය
පුරුදු පරිදි වනයෙන් සොයා ගෙන නෙක් ගොදුරු
මිඟිඳා එයි සතොසින් නොදැන වූ දේ නපුරු
දැක ගල පසෙක වැටී ලෙන හිස්ව තිබි අයුරු
දැඩි සොවින් ගොස නඟා වන පෙත කරයි දදුරු
(සිංහයා පැමිණෙයි)
සිංහයා : සින්දුව
ගල් ලෙන බිඳලා
ලෙන් දොර හැරලා
සිංහබා සිංහබා සිංහබා
මා සොඳුර මා සොඳුර මා සොඳුර
සිංහ සීවලී මා ප්‍රිය දියණිය
ගල් ලෙන බිඳලා
ලෙන් දොර හැරලා
ගොසින් හැම දෙන
නැතේ කිසිවෙක්
මම දැන ගතිමි
මම සැක කළෙමි
සිංහබා සිංහබා සිංහබා
ලෙන තුළ නොවෙති
පෙරළා නො එති
මම දැන ගතිමි මම සැක කළෙමි
සුරතල් දියණිය
මොළකැටි වදනින්
මා සකසන්නිය
අහර පිසන්නිය
කවන්නිය, පොවන්නිය
මා ගැන බිය වන්නිය
වනයේ දුකක් වී ද
අසන්නිය සොයන්නිය
ඈත් ගොසින් ය
ඇයි සුදු දුවණිය
නුඹ වත් නොසිටියෙ
සොහොයුරා නම්
ඔළමොළ ගති ඇත
නුඹ මෙන් මුදු නැත
ඔහුගේ අණට ද
කීකරු වූයේ
පෙරළා එන්නෙ ද
ඔහුගෙන් ගැලවී
හෙණයක් සේ පතිත වු අහසින්
හිස මතට දෙදරුම් දී
බමවා ම ඉඳුරන් අඳුරු කරමින්
පහරිනා රුදුරු
කිම් ද නොකියා යන්ට කාරණ
වී ද මන දොළ කිසිත් නොපිරුණ
වී ද මන දොළ කිසිත් නොපිරූ මා
විසුවා ම සමඟ ආලයෙනා
දරු රුවන් දෙදෙනකු දී
දරු රුවන් දෙදෙනෙකු දී ම පෙම්බර
ඇයි ද අරුචි වුණේ
නැද්ද දරුවෝ මා කෙරේ ලැදි
උන්ට මාගෙන් වූයෙ වරද ද
උන්ට මාගෙන් කිම් ද වු වරදා
ගොස් සෙදින මම සොයනෙමි වන පෙත
සියලු ම ගම රට නර කැල හැසිරෙන
නො දනිති හසරක් නුපුරුදු එතිදෙන
පැමිණෙන පිරිපත වළකනු කෙලෙස ද
දිරි ඇති මුත් පුත නරයෙහි ගත මුදු
ලොව දැක නැත අද වන තුරු කිසි කල
(නික්ම යති)
ලෙන හැර යාම නමැති දෙ වැනි අංකය නිමියි.