සිංහල රජකාලයේ කොත්මලේ ප්‍රදේශයේ දක්‍ෂ ගණිතයෙක් සිටියේය. මේ ගණිතයාගේ නක්‌ෂත්‍ර දැනීම රජවාසලට පවා සැලවී තිබුණේය. එක් දවසක් ගොවියෙක් රජවාසලට විශාල ලබු ගෙඩියක් ගෙනාවේය. ලබු ගෙඩියේ විශාලකම දුටු
රජතුමා ගොවියාගෙන් ඒ ගැන කරුණු විමසුවේය. ගොවියා රජුට වැඳ අවසර ගෙන "දේවයන් වහන්ස, මේ ලබු වැලේ ඇටය හිටෙව්වේ අසුවල් ගණිතයාගේ නැකතටය. ලබුගෙඩිය මේසා විශාලවූයේ ඔහුගේ නැකතේ බලයකින් විය හැකිය" යි කීවේය.
එවිට රජතුමා "මේ ගෙඩියේ ඇට කොපමණ ඇත්දැ" යි ඇමතිවරුන්නේ විමසුවේය. ඇමතිවරු එකිනෙකා එක එක ගණන් කීවේය. සමහරු ලබු ඇට දෙතුන් සියයක් ඇති බව කීහ. සමහරු ඇට පතක්, මනාවක්, හුන්ඩුවක් ඇතැයි කීහ. ඒ කියුම් විශ්වාස නොකළ රජතුමා "ලබු ගෙඩිය නොකපා හරියට ඇට ගණන කියන්නට කාට පුළුවන්දැ" යි ගොවියාගෙන් ඇසුවේය.
එවිට ගොවියා "දේවයන් වහන්ස මේකේ ඇට ගණන අර ගණිතයාට නම් කිය හැකිය" යි කීවේය. එවිට රජතුමා ගණිතයාගේ සමත්කම් විමසීමට මෙය කදිම අවශ්ථාවකැයි සිතා එවලේම ගණිතයා කැඳවා යැවුවේය. ඔහු රාජ දූතයන් සමඟ එන්නට පිටත් වූයේය. ගණිතයා එන මග හරහා කටුස්‌සෙක් පැන ගියේය. ඒ දුටු ගණිතයා බොහොඩා පාර හරහා පැනීම මාරක පලදෙන පෙරනිමිත්තක් බව සිතා ගත්තේය.
එසේ සිතාගත් ඔහු පෙරළා ගෙදරට ගොස් අඹුදරුවන්ට අවසාන වශයෙන් කිවයුතු දේ කියා කළමනා කටයුතු සලස්‌වා තමා යන්නේ රජුගේ අණට බවත් තමාට ආපසු එන්ට නොලැබෙන බවත් කියා ශෝක නොකරන සේ අවවාදකර පිටත්ව ගියේය.
ගණිතයා රාජ පුරුෂයන් සමඟ රජ වාසලට ගියේ රජු දැක නමස්‌කාර කර සිටියේය. රජතුමා ඔහුට ලබු ගෙඩියේ ඇට ගණන කියන සේ අණ කෙළේය. ගණිතයා ලබු ගෙඩිය ඒ මේ අත පෙරළා බලා "දේවයන්වහන්ස, මෙහි ඇට තුනක් ඇත. ඉන් දෙකක් පුහු ඇටය. එකක් හොඳ ඇටයකි" යි කීවේය. ඊට පසු රජතුමා ලබු ගෙඩිය කප්පවා බැලුවේය. ගණිතයාගේ කීම හරියට හරි විය.
ඇමතිවරු සතුටට පත් රජතුමාගෙන් ගණිතයාට තෑගි බෝග ලැබේ යැයි කල්පනා කරමින් බලා උන්නෝය. ගණිතයා බයින් මිරිකී මීළගට කුමක් කියාවීදැයි සිතමින් සිටියේය. රජු උදහස් වූ බව පෙනිණි. "එම්බල! තෝ මෙපමණ දක්‍ෂකමක් ඇති කෙනෙක්‌ව ඉඳලත් රජුට විරුද්ධව මේ පළාත්වල කෙරුණු රාජ ද්‍රෝහිකම් ගැන නොදැන සිටියේ කෙසේදැ" යි ප්‍රකාශ කෙළේය.
"පස්‌වාන් දහසක් බුදුවන්ඩ දේව ස්‌වාමිදරුවනි, මම ඒ කැරලි ගැනත් දැනගෙන සිටියෙමි" යි ගොත ගසමින් කීවේය. "රජුට විරුද්ධව කෙරෙන අපරාධ තොගේ ශ්‍රාස්‌ත්‍රඥානයෙන් දැක දැකත් ඒවා මහ වාසලට සැල නොකිරීම රාජද්‍රෝහි ක්‍රියාවකැයි" යි රජතුමාගේ මුවින් පිටවත්ම ඇමති ගණයා ඇතුළු පිරිස භයින් වෙවුලා ගියාය.
"මේ රාජ ද්‍රෝහියාට නිසි ඳඩුවම් කරපියව්" යයි ඊලඟට රජුගේ මුවින් පිට වූයේය. වධකයෝ ගණිතයාගේ හිස ගසා දැමීමට සූදානම් වූවෝය. එදා ඒකාන්තයෙන් ම මරණය සිදුවන බව දැනගත් ගණිතයා තමාගේ කේන්ද්‍රයේ හැටියට ආයුෂඵල ගැණ බලා තව තුන් පැයකට පසු මැරෙන බව දැක්‌කේය. වධකයාගේ කඩු පහරට ගෙලදීමට වඩා ඉබේ මැරෙන තුරු සිටීම යෙහෙකැයි සිතූ ඔහු තුන් පැයකට අභය දෙන ලෙස යාච්ඤා කෙළේය. රජු ඊට ඉඩ දුන්නේය.
තුන් පැය ගෙවෙනවාත් සමඟ ගණිතැදුරා විසඥව බිම වැටුණේය. ගණිතඥයා තුන් පැයකට අවසර ගත්තේ ඔහු මැරෙන වෙලාවද හරියට දැන ගෙන යයි සිතූ රජ්ජුරුවෝ ඔහුගේ ශාස්‌ත්‍රඥානය ගැන සිහිකර ශෝකයට පත්වූයේය.
