පළමුවෙනි අංකය (දෙවෙනි කොටස)
 

සුප්පා දේවියට පොතේ ඉන්නිසය


වනයෙහි රජ කරන සඳ මෙ කෙසරිඳු ඉඳු තුල්
වගු රදු දූ ඔහු දැක බැඳි පෙමින නො ව කුහුල්
හැර තවලම් පිරිසත් ගොස් ඔහු සමඟ එකල්
විසූ ඒ පුවත ඔබ දනිතිය හඟිමි සියල්


වෙසෙන එ ගිරි ලෙනේ පති බැතියෙන් සුනිමල්
දරු සම්පත් ද ලබමින වාසනාවෙන් විපුල්
නො අඩු වූ තුනු සිරිනි සදිසි සිරි කල් එකල්
දැන් නරඹනු සොඳින සුප්පා දේවි මනකල්


(සුප්පා දේවි පැමිණෙයි)


සුප්පා දේවි : සින්දුව

වගුරට නරනිඳු දඹදිව පරසිඳු
හට දා වු මම වෙමි දෙටු දූ
සරණ ගිය සිහ සමිඳුනේ
සමඟ වෙසෙමිය ගිරි ලෙනේ

දෑස ලෙසේ මේ දරුවන් නොලසේ
හදා වඩා ගනිමින් සුව සේ
රාජ මාලිග ඈ සියල්
නොදේ මේ වන සැප විපුල්

ලෝ දහමින් වැදෙනා රළු පහරින්
ගත සිත රිදෙනා කල නිතියෙන්
නැත ලොවේ අන් රසඳුනා
ආදරේ සේ සුව දෙනා


පොතේ ඉන්නිසය


වෙසෙන සඳ මේ ලෙසේ දරු දෙදෙන සමගිනේ
දෙටු පුත් සිහබා සහ සීවලී දියණියනේ
ලෙනෙහි හිර කර විසුම කළ නොහැකිව සහනේ
අසති දරුවෝ මවගෙන් නිතර මෙ බඳු පැනේ

(සුප්පා දේවි, සිංහබාහු සහ සිංහ සීවලී ද කැටුව යළිත් කරළියට පැමිණෙයි)

සුප්පා දේවි, සිංහබාහු හා සිංහ සීවලී : තර්ගය


සිංහබාහු :


කිම් ද මෑණියනි මා අසනා
කන් නොදෙන්නේ පැනයටා
මේ ලෙනේ හිර'කර වෙසෙන්නේ
කියනු කෙලෙස ද සැම දා


 

සිංහ සීවලී :


යති පියාණෝ දා ලෙනේ අප
නිතර ඒ රුදු වනයටා
නැද්ද ඔහු හට වන්නෙ උවදුරු
සිතට මාගේ බිය වැදේ

සුප්පා දේවි :

කිම් ද දරුවෙනි නොසිත අසනා
අරුම පුදුම වූ මේ පැනා
පීතෘ ඔබගේ මුළු වනේ අබි-
සේක ලත් අධිරාජයා
බැඳ තබා ලෙන යන්නෙ මෙලෙසා
පැමිණෙනා නෙක බිය නිසා
වන සතුන්ගෙන් වේ ය පිරිපත
වෙසෙන සඳ මෙහි හුදකලා


සිංහබාහු :


මෑණියෙනි ඔබ පවසනා නිති
නො වැටහේ මට මේ වදන්
පීතෘ අප අඒිරාජයා නම් මන්ද බිය වනු කාරණා
මම් නොවෙම්දෝ ඔහුගෙ දෙටු පුත්
කුමරු හිමි මේ විජිතෙටා
වන සතුන් මම නතු කරන්නෙම්
රැක තබනු මා කුමට දා


සුප්පා දේවි : තාල විරිදුව


පිනනා ම මන් සොඳින පෙම්බර ම පුත් රුවන
රකිනා ලෙසා දෙදෙන නිතියෙන් මෙන් දෙනුවන
කරනා මෙ රැකවරණ පිතු ඔබේ පුතු පෙමින
බැතිනා ඉවසා ගෙන හිඳිනුය නො අසා පැන


සුප්පා දේවි : වචනය


දැන් ඔබ පියා පෙරළා ලෙනට පැමිණෙනු ඇත. ඔහු සඳහා අහර ඉඳි කරනු පිණිස යමු දියණියනි.

(දෙදෙනා නික්ම යති)

සිංහබාහු : සින්දුව


සැම දා නොම රඳා මේ ලෙනේ
හැර යන්ට සිතේ මට සෙදිනේ
දැක ගන්ට ම පිය රජු විජිතය එ වනේ
සැම දා......
බිඳ හැරා ලෙන් දොරා යන්නෙමි
චණ්ඩ වේ ද සත දැක ගන්ට ඇත සිත රෑක
ඉන්ට කාරණාව මව කිම් ද නො කියන්නෙ මට

 

(නික්ම යයි)

(c) Shilpa Sayura Foundation 2006-2017