රිටිගල ජයසේන මහසෝනා වූ සැටි
 

ගිරිලක සිට පිටත් වූ ගැමුණු හමුදාව රිටිගල පැත්තේ මහෙල නගරය දිසාවට මුහුණලා ගියහ. එහි නිවත්තගිරිය අසල කඳවුරු බැඳගත් සේනාව කීප දිනක්‌ නතර වී සිට අනුරාධපුරය වැටලීමේ කරයුතු සම්පාදනය කළහ. රිටිගල ජයසේන හමුවූ ගැමුණු කුමාරයා ඔහුගේ සහාය පැතුවේය.

රිටිගලින් සේනාංකයක්‌ සූදානම් කරදුන් දළසේන තමා ද යුද හමුදාව සමඟ එන බව ප්‍රකාශ කෙළේය. එතැනින් පිටත් වූ ගැමුණු හමුදාව කසාගල්බඩ පාරේ ඉදිරියට ගොස්‌ අනුරාධපුරයේ සමීපයේ කඳවුරු බැන්දෝය.

සිංහලයන් අනුරාපුරය වැටලූ දත දෙමළ හමුදාවෝ නුවර කොල්ල කමින් සිංහලයින්ගේ දේපල නසමින් මහ සටනකට මුහුණ දීමට සූදානම් වූහ. ඇතුළු නුවරට ඈතින් පිටි නුවරෙහි තිබුණු සිංහල ගම් හා ගෙවල් දොරවල් ද කොල්ලකෑමට පටන්ගත් දෙමළ හමුදාව ඇතුළු නුවර හා පිටි නුවරත් පදිංචිව සිටි සිංහලයන්ගේ ගැමුණු හමුදාවට පිහිටක්‌ නොවන තැනට සැලැස්‌සුවෝය. නගරය වටලා සිටි සිංහල හමුදාවෝ තුන් පැත්තකින් එකවිට පහරදී නගරය තුළට කඩා වැදුණෝය.

මහා සටන ආරම්භ විය. මේ අතර එක්‌ දවසක්‌ සටන් නවත්වා සිටි කල ගෝඨීම්භර සෙනෙවියා දෙමළුන් විසින් පාලුකර දමන ලද ගම්මානයක්‌ බැලීමට ගියේය. එසේ ගිය ඔහුට පිටි නුවර ධනවත් සිංහල ගෙදරකට පහරදී මංකොල්ලකන දෙමළ පිරිසක්‌ දක්‌නට ලැබුණේය. ඒ පෙදෙසට අසු පැන්නවූ ගොඨිම්බර සෙනෙවියා වහාම අසුපිටින් බැස දෙමළුන් මරා පන්නා දමා ගේ තුළට වැදී සෝදිසි කෙළේය.

එහි කිසිවකු දක්‌නට නොවීය. ගෙයි පිටුපසට ගිය ඔහුට දක්‌නට ලැබුනේ මැරුම් කෑ මහළු ස්‌ත්‍රීයකගේ සහ පුරුෂයකුගේ මළසිරුරු දෙකකි. ටික වේලාවක්‌ ඒ මේ අත සොයා බැලූ සෙන්පතියා අසු අරා යන්නට සූදානම් වූයේය.

එවිට වත්තේ ඈත වන රොදක සැගවී මේ සියල්ල බලා උන් අභිරූපි නවයොවුන් තරුණ කාන්තාවක්‌ කඳුළු සල සලා දිව අවුත් සෙනෙවියාගේ පා මුල වැටී තමා බේරාගන්නා ලෙස අයදිමින් හඩන්නට වූවාය. දෙමළුන් තම ගෙය කොල්ලකෑමට එනු දැක ඈ වනයට වැදී ගසකට නැග සිටි අතර දෙමාපියන් ගෙයි රැදී සිටි බව ඈ පැවසුවාය. දෙමාපියන් මරා දමා ඇති බැවින් ඈට එහි නතර වීමට නොහැකි බව කියා තමා සිංහල සේනා දෙසට යාමට කැමති බව ද කියා සිටියාය. ගෑණුන්ට යුද පිටියේ නැවතීම යුතු නැති නිසා ඔහු ඈට පිරිමි වෙස්‌ ගන්වා අසුපිට නංවාගෙන කඳවුරු දෙසට අසු පන්නා ගෙන ගියේය.

සෙනෙවියා ඈ ස්‌ත්‍රීයක බව නොහැඟෙන සේ කඳවුරේ නවත්වා යුද පෙරමුණ සකස්‌ කිරීමේහි යෙදුණේය. තරුණිය ද සෙබළකු මෙන් එහි රැදී සිට සෙසු සෙබළුන් හා කඳවුරේ කුදු මහත් වැඩට සහභාගි වුවාය. සෙන්පති තැන ඈට පෙරමුණට නොයන ලෙස නියෝග කර තිබුණේය. මෙසේ සිටින අතර එක්‌ දවසක්‌ මහා සටනක්‌ අරඹා සෙන්පතියන් හැමෝම පෙරමුණේ සිටි අවස්‌ථාවේ කඳවුරේ රැදී සිටි මේ තරුණ සෙබළා කඩුවක්‌ හා පලිහක්‌ද රැගෙන ගෝඨිම්බරගේ ඇණියකට වැදී පෙරමුණට ගොස්‌ සටනක යෙදුණේය.

දවස්‌ දෙකක්‌ නොනවත්වාම පෙරමුණේ සටන් මෙහෙයවීමෙහි යෙදී සිටි සෙනෙවිරදුන්ට කඳවුරට ඒමට වේලාවක්‌ නොතිබුණේය. සටන්බිමදී තුවාළ ලත් මේ තරුණ සෙබළා රෝහලට යැවුණේය. ඔහුගේ තුවාල වලට බෙහෙත් දැමූ වෙද්දූ ඔහු පැදුරක හොවා තැබුවෝය. එදා දවස සටන් නැවැත් වූ පසු සෙනෙවියා කෙළින්ම දුවගෙන ආවේ තම කඳවුරු මඩුවටය. තරුණයා එහි දක්‌නට නොසිටියේ ය.

සෙනෙවිරත්තුමා සෙසු භටයින්ගෙන් තරුණ භටයා කොහිදැයි අසා බැලුවේය. ඔහුට කුමක්‌ වුණේද. ඔහු ගියේ කොහේද කියා කිසිවකු දැන සිටියේ නැත. සොයාගෙන සොයාගෙන යන අතර එදා ඒ සෙබළා පෙරමුණේ සටන් කළ බව දැනගන්නට ලැබුණේය. ඊට පසු සෙනෙවිතෙම එදා මළ භටයන් ගැන සොයා බැලුවේය මළ භටයන් අතර මේ කියන අන්දමේ භටයකු නොසිටි බව දැනගත් සෙනෙවිතෙම වෙදහල කරා ගියේය.

එහි තුවාල ලබා වැතිර සිටි සෙබළුන් පරික්‍ෂාකරගෙන යන අතර ඔහුට තරුණ සෙබළා හමුවූයේ ය. තමාගේ අවසරයක්‌ නැතිව පෙරමුණට යෑම ගැන දොස්‌ කී සෙනෙවියා ඔහුගේ තුවාල බලා මේ ලෙඩා හොදින් රැක බලා ගන්නා ලෙස රෝහලේ කැමියන්ට විධාන කර යන්ට ගියේය.

එදා සිට ගෝඨිම්බර සෙනෙවියා රෑ හෝ දහවල් හෝ තමාට අවසර ලැබෙන හැටියට රෝහලට පැමිණ ලෙඩා බලා යෑමට අමතක නොකළේය. එම රෝහලේ ලෙඩුන්ට සාත්තු සප්පායම් කරවීම භාරව සිටියේ රිටිගල ජයසේනය. හැමදාම ගෝඨිම්බර සෙනෙවියා ඇවිත් බලා සුවදුක්‌ විචාලා යන ලෙඩා කවුරුදැයි ජයසේන විපරම් කෙළේය. ඔහු කල්පනා කලේ මේ ලෙඩා රුහුණේ රාජකුමාරයකු බවය. මෙසේ සිතූ ඔහු ලෙඩා ලගට ඇවිත් බලා ඒ ලෙඩා ගැන විශේෂ සැලකිල්ලක්‌ දැක්‌වූයේය. ටික දවසක්‌ පසුවන විට මේ ලෙඩා පරිමියකු නොව ස්‌ත්‍රීයක බව රෝහලේ වෙදුන්ගෙන් ජයසේනට දැනගන්නට ලැබුණේය. ජයසේනත් ඇවිත් බලා ඒ බව තේරුම් ගත්තේය.

ලෙඩාගේ සියුමැලි දේහයත් පැහැපත් මුහුණත් මියුලැසි යුවළත් දුටු හෙතෙම ලෙඩා ගැන අනුකම්පා උපදවා ඔහු එතැනින් ඉවත්කර වඩා හොද තැනක තැබීමට අදහස්‌ කරගත්තේය. ඉවතට ගෙනයාමට තරම් තුවාළ කාරයාට සුවය ලැබී ඇති බව දත් ජයසේන ලෙඩා වඩා හොද තැනකට මාරුකරන මායාවෙන් රෝගියා එතැනින් බැහැරට ගෙන ගොස්‌ රිටිගල පෙදෙසේ නිවසක නවත්වා ඔහු රැක බලා ගනීම පිණිස මුරකාරයන්ද තබා වෙදහෙදකම් කරන ලෙස විධානකර ආවේය.

සිරිත් පරිදි ගොඨිම්බර සෙනෙවියා ඇවිත් බැලූකල ලෙඩා එහි සිටියේ නැත. ලෙඩා සුවය ලබා රෝහලින් පිටවී ගිය බව කියන ලෙස ජයසේන එහි සේවකයන්ට කියා තිබුණේය. ගොඨිම්බර සෙනෙවිරදුන් ඇහූබැලූ කල ඔවුන් කීවේ ලෙඩා සුවවී ගිය බවය. සෙනෙවියා කලබලවී ඒ මේ අත සොයා ඇවිද්දේය. ඔවුනොවුන්ගෙන් විමසුවේය.

මෙසේ සොදිසි කරගෙන යනවිට ඒ ලෙඩා ජයසේන විසින් අන් තැනකට යවන ලද බවට හෝඩුවාවක්‌ දැන ගන්නට ලැබුණේය. ඊටපසු සෙනෙවියා ජයසේනගේ ගමන් බිමන් හා පණිවුඩ පනත්වල යෙදෙන්නන් ගැනද තද සෙවිල්ලෙන් සිටින ලෙසත් මේ ගැන සෝදිසි කරන ලෙසත් චරයන් කීපදෙනෙකු යොදවා තෙමේ ද ඉඩ ප්‍රස්‌ථා ඇති අවස්‌ථාවලදී ඒ පෙදෙස තුළ ඇවිද මේ ගැන සොයා බලන්නට උත්සහ ගත්තේය.

මෙයාකාරයෙන් දවස්‌ කීපයක්‌ම සොදිසි කරගෙන යනවිට ලෙඩා නවත්වා සිටි තැන දැනගන්නට ලැබුණේය. එක්‌ දවසක්‌ අලුයම අසුපිට නැගුණු ගොඨිම්බර සෙනෙවියා එතැනට පැමිණ රෝගියාගේ ලෙඩ සුවවී ඇති නිසා වහාම පෙරමුණට යායුතු බව කියා ඔහු කැඳවාගෙන ආවේය.

ලෙඩා සනීප වී ගොඨිම්බර සෙනෙවිදුරන් සමඟ ගිය බව කියන ලෙසද සේවකයන්ට දැනුම් දුන්නේය. ගොඨිම්බර සෙනෙවියා ඊටපසු මේ තරුණ සෙබළා තමාගේ කඳවුරට අයත් ඕවරකයේ රඳවා පිටත නොයන ලෙස අවවාද කර සටන් බිමට ගියේය. සති කීපයකට පසු අනුරාපුර සටන අවසන් විය. සිංහල සේනාව ජය අත් කළේය. ගැමුණු කුමාරයා ජයපානෝත්සවය සතියක්‌ පැවැත්තුවේය. සෙනෙවියන් අතර සුරාපාන තරඟයක්‌ ද පැවැත්තුවේය. ලොකුම රා කළය බිවූ තැනැත්තාට විශාල මසුරන් ගොඩක්‌ තෑගි කළේය. සෙනෙවින්ට හා සෙබළුන්ටත් තෑගිබෝග තාන්න මාන්න, මිල මුදල්, ගම්බිම් ගෙවල්, ප්‍රාසාද ආදිය සුදුසු පරිදි පිරිනැමුවේය. සමහර සෙනෙවියෝ පැවිදිවූහ. සමහරු වෙනත් නිල තල ලබා ගියහ.

ගොඨිම්බර, ජයසේන ඇතුළු කීපදෙනෙක්‌ නගරයේ අලංකාර මාලිගා ලැබ එහි පදිංචි වී කෙළිදෙළෙන් දවස්‌ යැවූහ. ගොඨිම්බර හා ජයසේනත් ලොකු මිතුරෝ දෙදෙනෙකි. යුද්ද කලබල හමාර වී රට සන්සුන් වූ පසු ගොඨිම්බර සෙනෙවියා තමාගේ විවහා මංගල්‍යය පැවැත්වීමට සූදානම් කෙළේය. තම මාලිගය අලංකාර ලෙස සැරසුවේය. විසිතුරු ලෙස ඉදුම් හිටුම් ආසන පනවා තැබුවේය. නොයෙක්‌ තරාතිරමේ නොයෙක්‌ ප්‍රමාණයේ බඳුන්වල ඒ ඒ සුරා වර්ග පුරවා තැබුවේය. නොයෙක්‌ ජාතිවල මස්‌මාංශ විවිධ රසයට විවිධ ක්‍රමයට සාදවා බඳුන් පුරවා තැබුවේය.

යෝධයන් ඇතුළු තමාගේ හිත මිත්‍ර යුද හමුදා නිලධරයනටත් රජයේ හා නගරයේ උසස්‌ පහත් කාටත් මඟුලට ආරාධනා කෙළේය. නියමිත දින උත්සවය ඇරඹිණි. ගෝඨිම්බර සෙනෙවියා සහ ඔහුගේ සුන්දර මනාලියත් අලංකාර වස්‌ත්‍රාභරණයෙන් සැරසී රන් තැටි වලින් අවුලුපත් හා සුරාවෙන් පුරවාගත් රන්විත් දෙකක්‌ අතට රැගෙන රා බිබී ශෝභන අසුන් දෙකක්‌ මත වාඩිගෙන සිටියහ. පසෙකින් නොයෙක්‌ තුර්යවාදන ද නැටුම් ද ගී කීම් ද වූහ.

අලංකාර වස්‌ත්‍රාභරණයෙන් සැරසුණු තරුණ කාන්තාවෝ අමුත්තන්ට සංග්‍රහ කරමින් ද ඒ මේ අත සරමින් ද මඟුල් ගෙදර ශෝභාව තව තවත් දියුණු තියුණු කළහ. සමහරු නැටූහ. සමහරු රා බී මත්ව පෙරළි කළහ. ගොඨිම්බර සෙනෙවිරදුන්ගේ සතුරකු වූ රිටිගල ජයසේන ද එදා එහි පැමිණ සිටියේය. රා බී මත්ව සිටි ජයසේනයා මනමාලිය දෙස බලමින් ඉඟිකරමින් ඒ මේ අත ගියේය. වරෙක ඔහු ඈ දෙස රවා බැලුවේය. වරෙක සිනාසුණේය. වරෙක යමක්‌ සෙමෙන් කීවේය. ලඟසිටි කවුරුත් කල්පනා කළේ ජයසේනයා රා බී මත්ව නන්දොඩවන බවය. මනමාලියත් ජයසේන හා ගෝඨිම්බරත් අතර ඇති සබඳතාව දැනසිටියේ ඒ තිදෙන පමණකි.

මේ අතරතුර මනමාලිය හිටිහැටියේ සිහිසන් නැතිව අත තිබූ සුරා විතත් සමඟ බිම ඇදගෙන වැටුනාය. එහි සිටි කවුරුත් කල්පනා කළේ සුරා බී මත්වී ඈ වැටුණු බවය. උඩුබැලි අතට පෙරළුනු ඈ නැහැයෙන්, මුවෙන් සෙම දමන්නට වූවාය. සුරනිමල් නන්දිමිත්‍ර ආදී සෙනෙවියෝ ඈට සුරා මතය නැතිවීමට බේතක්‌ දීමට කීහ. මේ අතර ජයසේනයා සෙනෙමින් බිමබලා සිටිනු දුටු ගෝඨිම්බරයෝ "මේ මූසලයා, මූ තමයි, මේ අපරාධය කෙළේ, මරනව තෝ" කියමින් විත්කෑ වලහකු මෙන් අත අමෝරා ජයසේන ළඟට පැන්නේය.

ඒ දුටු දළසෙන්, සුරනිමල, නන්දමිත්‍ර ආදී සෙන්පතියෝ ඉදිරියට පැන ගෝඨිම්බර අල්ලා ගත්හ. "උඹල දන්නෙ නෑ, මූ තමයි මේ අපරාධය කෙළේ..මූ මගේ බිරිඳට හූනියමක්‌ කරලා" කියු ගෝඨිම්බර යළිත් පහරදෙන්නට උත්සහ ගත්තේය. එහි සිටි කාටත් මෙය මහ අභිරහසකි.

ජයසේන කිසිවක්‌ නොකළ බව කවුරුත් සිතූහ. ජයසේනට එතැනින් පිටවී යන ලෙස වේළුසුමන කීවේ මේ අවස්‌ථාවේදීය. "මම අද උඹ අරින්නේ ගෙදරට ආ එකාට ගැහීම අශීලාචාරකමක්‌ නිසා. උඹ ඉදපන් මම උඹ තියන්නේ නැහැ" යි ගෝඨිම්බර ගුගුළේය. "ඔව් උඹ මට ගහන්න ඕනනම් වරෙන් මමත් ලෑස්‌තියි අද බැරිනම් කියාපන් පුළුවන් දවසක්‌" මෙසේ කී ජයසේන වහසි කියමින් යන්නට සූදානම්ව නැගිට්‌ටේය.
"ඔව් උඹලා දෙන්නා අතර තරහක්‌ තියෙනවනම් දවසක්‌ නියම කරගෙන ගහගනිල්ලා, අපිත් එන්නම් බලන්න"යි තවත් සෙනෙවියෙක්‌ කීය. "ඔව් ඒක තමා හොඳ" කියා කීපදෙනෙක්‌ම ඒ යෝජනාව අනුමත කළහ. ජයසේන යන්නට ගියේය.

මීට පසු ගෝඨිම්බර සෙනෙවියා යුද්ධ කාලයේ සිදුවූ සියල්ල විස්‌තර කෙළේය. ඔහු මේ අසරණ තරුණිය සොයාගත් සැටිත් ඈ රණබිමට වැදී තුවාළ ලත් සැටිත් වෙදහලේ සිටියදී ජයසේන ඈ සඟවාගෙන ගොස්‌ තබාගත් සැටිත් සියල්ල විස්‌තර කෙළේය. "ඔහොම බවක්‌ අපි කලින් දන්නවා නම් ජයසේන දැන් මෙතැනදීම මරන්නේ අපිනේද"යි දළසේන කීවේය. "කමක්‌ නෑ ඌ අද ගියාවේ අපි ඒ ගැන පස්‌සේ බලාගනිමු"යි කී ඵුස්‌සදේව "දැන් මේ ලෙඩාට ප්‍රතිකාරයක්‌ කරමු"යි කීවේය.

ජයසේන හා ගෝඨිම්බරත් කලින් නියම කරගත් පරිදි දෙදෙනාගේ අනුගාමිකයනුත් කැටුව අනුරාපුර 'තම්බපණ්‌ණී' සොහොන් පිටියට රැස්‌වූහ. සොහොන්බිම අකවළුව සේ නියම කරගත්තේ නුවරින් පිටත ඉඩකඩ ඇති තැනක රැස්‌වීමට පහසුවූ හෙයිනි. මේ මල්ලව පොරය නැරඹීමට විශාල සෙනඟක්‌ එකතුවූහ. පොරපිටියට බට ගෝඨිම්බර සෙනෙවියාත් ජයසේනත් මුහුණට මුහුණ පා සිටගත්හ.

ගෝඨිම්බර කළු, මිටි, ශක්‌තිමත් පුරුෂයෙකි. ජයසේන කළු, උස කඩවසම් ශක්‌තිමත් කෙනෙකි. ටික වේලාවක්‌ දෙදෙනා පහරට පහර දී ගත්හ. ඊටපසු ගෝඨිම්බරගේ පා පහරකින් ජයසේන ඇද වැටුණේය. ඔහු නිමේශයකින් නැගිට ගෝඨිම්බරට මරු පහරක්‌ දුන්නේය. ගෝඨිම්බරගේ මරු පහරක්‌ ජයසේනගේ නිකටය හරහා වැදුණේය. පැත්තකට ඇලැවේගෙන ගිය ජයසේනගේ මුහුණට දූන් තවත් පා පහරකින් ඔහු උඩුබැලියාව බිම පතිත විය.

බිම වැටුනාට පසු පහරදීම සම්මත නීතියට විරුද්ධ නමුත් කෝපාවිෂ්ට ව සිටි ගෝඨිම්බරයා තමාගේ බිරිඳට කොඩිවින කිරීමේ පලිය ගන්නා අදහසින් ජයසේනට තව තවත් පහර දුන්නේය. ඒ දුටු එහි රැස්‌ව සිටි සෙන්පතියෝ වහාම අකාඩයට පැන ගෝඨිම්බරයා පැත්තකට ඇද දැම්මේය.

ඊට පසු ගෝඨිම්බර සෙනෙවියා තම පිරිවරත් කැටුව අනුරාපුර රජමහ විථීය මැදින් කෑ මොර ගහගෙන තුර්යවාදන සහිතව ඔහුගේ මාලිගය කරා ගියේය. මේ ගාලගෝට්‌ටිය අසා වුන් ගැමුණු රජතුමා ඒ ශබ්දය කුමක්‌දැයි විචාළේය. ගෝඨිම්බර සෙනෙවියා විසින් රිටිගල ජයසේන මල්ලව පොරයකින් මරා දමන ලද බවත් ඒ සතුට නිසා ඔහු සහවරයන් පිරිවරා එන ගමනේ හඩ යයි ඇමැතියෝ කීහ.

සඩ්ඝ, සුමන ආදී ඇමැතිවරු ගෝඨිම්බරට විරුද්ධව තවත් බොහෝ බොරු ගොතා කියා රජු බිඳවූහ. මහරජතුමා තමා කෙරේ කලකිරී සිටින බව දැනගත් ගෝඨිම්බර සෙනෙවියා රජතුමා හමුවී තමාගේ නිර්දෝෂි භාවය ප්‍රකාශකිරීම සඳහා රජ මාලිගයට යන්නට ගියේය. ගෝඨිම්බර හා දළසේනත් රජුට හදිකර රජකම ගන්නට පවා කල්පනාවක්‌ ඇතැයි ඇමතිවරු රජතුමාට දන්වා තිබුණාහ.

රජතුමාගේ නියෝගයෙන් ගෝඨිම්බරට මහවාසලට ඇතුළුවීමට මුරසෙබළෝ ඉඩ නොදුන්නෝය. ඒ හැර දළසේන හා ගෝඨිම්බරත් අල්ලා සිර බාරයට ගන්නා ලෙසද නියෝගයක්‌ කරන ලද්දේය. ඒ අතර දළසේන අල්ලා මරාදැමීමට එවා සිටි යුදහමුදාවක්‌ ඇතකුත් සමඟ ඇවිත් ඔහු යන මඟ රැක සිටියහ. ඒ බව ඇසූ දළසේන එතනට ගොස්‌ අලියාගේ ගොඩෙන් අල්ලා කැලේට විසිකර ගියේය.

ගෝඨිම්බර හා දළසේනත් හමුවී මෙසේ කතා කරගත්තෝය. "රජ්ජුරුවෝ කේලාම් අසා අප කෙරෙහි කෝපයෙන් සිටිති. රජු නසා රාජ්‍යය ගැනීමේ චේතනාවක්‌ අපට නැති. හැකියාවක්‌ ඇතත් අපි එබඳු නීච ක්‍රියාවක්‌ අපේ රජුට විරුද්ධව නොකරන බව අපි දෙදෙනාම දනිමු. දැන් මෙහි තවත් රැදී සිටීම නුවණට හුරු නැත." මෙසේ කියා ඔවුහු දෙදෙන නිවෙස්‌ කරා ගියහ.

ඊට පසු මේ සෙනෙවියෝ දෙන්නා ගැමුණු රජුගේ අකාරුණික අපරික්‍ෂාකාරි නියෝගය නිසා මේ රටේ සිටීමට කැමැති නැති බව කියා එදාම රටහැර දඹදිව බලා පිටත්ව ගියෝය. රිටිගල ජයසේන මැරී යකෙක්‌වී උපදින්නට ඇතැයි මිනිස්‌සු සිතූහ.

සොහොනේ මළ නිසා ඔහුට සොහොන් යකා යයි ද මහත් බල ඇති යකෙක්‌ නිසා මහසෝන් යකා යයි ද ව්‍යවහාර වී ගියේය. වල් ඌරෙක්‌ වලහෙක්‌ දුටුකල ඒ මහසෝනාගේ අවතාරයයි සිතූහ.

අතුරු කතාවක්‌
එක්‌ දවසක්‌ මහසෝනා වනාන්තරයේ දඩයම් පිණිස ගියේය. සතකු අල්ලා ගැනීම සඳහා ඒ මේ අත හැසිරෙන කල හූනියන් යකා හමු වූයේය. හූනියන් යකා මහසෝනට වඩා බලසම්පන්න යකෙකි. මහසෝනා ටිකක්‌ නැමී පසෙකට වී නැවතුනේය.

"කොහෙද බොල තෝ මේ ඇවිදින්නේ" යි හූනියන් යකා රළු ස්‌වරයෙන් විචාළේය. "හාමුදුරුවනේ මේ ගොරක ටිකක්‌ අහුල ගන්න ආවා" මොට ද බොල ගොරක?" "හාමුදුරුවනේ ගෝන මස්‌ ලුණු දාන්න" "ඉතින් ඒකට ගොරක මොට ද?" "හාමුදුරුවනේ, ගොරකත් ලුණුත් දෙවගෙම දැම්ම ම තමයි මස්‌ රසට කන්න පුලුවන්" "එහෙනම් මටත් ගොරක මල්ලක්‌ ගෙනත් දීපියකෝ" "හොදමයි හාමුදුරුවනේ, මම අවුරුද්දකට ගොරක මල්ලක්‌....." "බැහැ බැහැ මට තුන් මසකට මල්ල බැගින් දීපිය" "හොදමයි හාමුදුරුවනේ" මහසෝනා වැඩිකතා කිරීමට ගියොත් වැඩේ වරදින බව සිතා මෙසේ කී නමුත් ඔහුට අවුරුද්දකට වරක්‌වත් ගොරක මල්ල බැගින් දීමට අමාරු බව දන්නේය.

මහසෝනා 'ඉතින් මම ගොරක මල්ල බැගින් දෙන්නේ කොහොමදැ'යි සිත සිතා ශෝකයෙන් යන කල ඔහුගේ මිත්‍ර රිරීයකා හමුවූයේය. "යාළුවා දැන් මොකද වැඩිය දකින්න නැත්තේ, කොහේද දැන් සේමන් ගන්නේ?" කියා රිරීයකා විචාළේය. "මට මහ අකරතැබ්බයක්‌ වෙලානේ" "මොකද්ද ඒ ?" "මම දවසක්‌ දා දඩයමේ ගිහින් ඇවිදිනකොට හූනියම් දේවතාවුන් වහන්සේ හමුවුණා. මොකද කරන්නේ කියල ඇහුවාම, මට එකපාරටම කියවුණා ගොරක ටිකක්‌ ඇහිඳින්න ආ බව. දඩයමේ ආ බව කියන්නත් නරකයි, ඒ කැලේ අපට දඩයම් කරන්න තහනම්. එතකොට හූනියන් දේවතාවුන් වහන්සේ ඇහුව උන්නාන්සේටත් මාසෙකට වරක්‌ ගොරක මල්ල බැගින් ගෙනත් දෙන්න පුළුවන්ද කියලා. බැරිය කියන්න පුළුවනැයි. මම කීවා තුන් මාසෙකට මල්ල බැගින් ගෙනැත් දෙන්නම් කියල. තුන් මාසෙකට තියා අවුරුද්දකටවත් ගොරක මල්ලක්‌ හොයන්න අමාරුයි.

"නරයින්ගෙන් හොරකන් කරලවත් දීපියකෝ. නැත්නම් මෙහේ වැසිල්ලක්‌ නැතිවේවී" "