තුන්වෙනි ජවනිකාව
 

(නරි ගෙදර ගම දුව හඬමින් සිටී. නරියා ඈ ව සනසන්න වෑයම් කරයි.)


නරියා :
දැන් ඉතින් ඔහොම කනගාටුවෙන් ඉන්න එපා. මොකක් ද ඉතින් කනගාටුවෙන් ඉන්න තියෙන හේතුව, සත්තු උනාට අපිත් දන්නව දීග කන හැටි. (ගම දුව වැලපෙන සැටි බලා) ඉතින් ඕකට ඔය හැටි කෑගහන්න ඕනැයැ. අදනෙ අම්මල එන දවස. දුවගෙ දෑවැද්දත් අරං එනව කිවිවෙ.



(මේ අතර නෑගං පැමිණි අය පිටත සිට)

නරි බෑනෝ මේ අහන්න
දෑවැද්දත් අරං මෙන්න
අපි ආවා දූ බලන්න
ගෙට එන්නට දොර අරින්න


(දෙමව්පියන් පැමිණ හඬගාන ශබ්දය ඇසුණ නරියා ප්‍රීතියෙන් ඒ බව ගම දුවට පවසයි.)

නරියා :
ඉතිං සැනසෙන්න
හොඳින් පුළුවන්නෙ
දෙමව්පියො දෙන්න
ඇවිත් අර ඉන්නෙ
මෙතෙක් උඩ පැන්නෙ
ගමින් එනකන්නෙ


හුඟක් දෑවැද්ද
ගෙනත් ඇති වෙන්නැ
ගොඩක් බඩු මුට්ටු
ගෙනත් ඇති වෙන්නැ
හොඳින් කලඅරින්න
ඉතින් පුළුවන්නෙ


ගම දුව : (කලබල වී හිස ඔසවා)
මොකද් ද කිව්වෙ
ගමිං ඇවිදිල්ල
නරියා :
ගමිං ඇවිදිල්ල
ගමිං ඇවිදිල්ල
කැවුම් කෙහෙලුත්බො
අරං ඇවිදිල්ල
ඉතිං නැගිටින්න
දෙ ඇස් පිහගන්න
හොඳින් හැරහෙන්න
ගිහිං දොරරින්න
දෙමව්පියො දෙන්න
හොඳින් පිළිගන්න


(ගම දුව විගස නැඟිට ලකලැහැස්ති වී ගොස් දොර අරියි. ගමරාළ, ගම මහගෙ සහ කපුරාළ ඇතුළු වෙති. ගමරාළගෙ හිස මත කැවුම් පෙට්ටියක් වෙයි.)


නරියා :
බලං අපි උන්නෙ
එහෙං එන කන්නෙ
මෙහෙං ඉඳගන්න
මෙහෙන් ඉඳගන්න


(සියල්ලෝම වාඩිවෙති)

(ගම දුවට)

බුලත් විට කන්න
ගිහින් ගෙන එන්න

(ගම දුව පිටවෙයි)

(ගම මහගෙට)

වැඩක් කරගන්න
උදව්වට ගන්න
කෙනෙක් අරගන්න
තමයි මම ඉන්නෙ

(ගම දුව ගෙනා ඉලත්තට්ටුව ගම මහගෙට පිළිගන්වමින්)
බුලත් හැපියක් ද
කොටන්ඩ ද නැන්දෙ


ගම මහගෙ ‍ :
කමක් නැහැ බෑනො
හපන්ඩ හැක්කි


(ගම මහගෙ ඉලත්තට්ටුව ගනියි. නරියා ගම රාළ වෙත යයි)


නරියා :
සුරුට්ටු ද බොන්නෙ
බුලත් ම ද කන්නෙ


ගමරාළ :
හෙනං ගෙන එන්න
සුරුට්ටුව බොන්න


(නරියා ගම මහගෙන් ඉලත්තට්ටුව ගෙන එය කපුරාළට පිළිගන්වයි. කපුරාළ දාඩිය පිඹියි.)


නරියා : පයිං ඇවිල්ල, මහන්සි ද මන්ද
කපුරාළ : ගොඩින් පැන ගත්ත, හුඟක් ළඟ හින්ද
නරියා : (සුරුට්ටුව ගෙන ඒමට පිටත් වී නැවත හැරී)
මෙහෙත් හරි වැස්ස
එහෙත් හෙම වෙන්නැ


සියල්ල :
අපොයි හරි වැස්ස
වෙලත් උතුරන්න
(නරියා සුරුට්ටුවක් ගෙනවිත් ගමරාළට දෙයි)

ගම මහගෙ : අනේ බෑනො, අපි හරි සතුටුයි මේ කටයුත්තට. කැලැව පැත්තෙ අපේ කියල කෙනෙක් ඉන්න එක කොයි තරං සහනයක් ද. දර කෑල්ලක් කඩාගන්න උනත් බයක් හැකක් නැතුව ආව හැකිනෙ.


නරියා : ඕව ගැන කල්පනා කරල තමයි මම මේ කටයුත්තට හුඟක් දැඟලුවෙ නැන්දෙ.
ගම රාළ : අනේ බෑනො, අපෙන් අවකැපෙන වචනයක් හෙම ඊයෙ පිට උනානං සමා වෙන්න ඕනෑ. අපිට මේ කටයුත්ත ගැන කිසි ම බරක් හෑල්ලුවක් තේරුණේ නැහැ.
නරියා : ඔහොම දේවල් කොහෙ ද නොවෙන්නෙ මාමෙ.
කපුරාළ : මටත් මේකට සම්බන්ධ වෙන්න ලැබිච්ච එක බොහොම ලොකු වාසනාවක් (ගමරාළගෙන්) එහෙම නේද?
ගමරාළ : අහල..දුවේ උඹේ දෑවැද්දත් ගෙනාව ඉතිං උඹට බයක් වෙන්න දෙයක් නෑ.
ගම මහගෙ : (ගම දුවගෙන්)අනේ දුවේ උඹට කරදරයක් හෙම උනේ නෑ නේද? උඹට දෙයියන්ගෙම පිහිට යි.
කපුරාළ : ඔව් ඉතිං බය වෙන්න දෙයක් නෑ...මේ නරි උන්නැහැ මේ දැවැද්ද කියන එක මනුස්ස අපේ ඉතා වැදගත් සිරිතක්. දෑවැද්ද නැති දීගෙ හරියට සම්බුද්දිය නැත්තං හොරට කරගත්ත එකකට සමාන යි.

(c) Shilpa Sayura Foundation 2006-2017