තුන්වෙනි ජවනිකාව
 

(කළුහාමි රඟ බිම මැදට විත් ගයයි)


කළුහාමි -
මගෙ හොඳ මිනිහා ඒක කවුදැයි නොදන්නේ
කෙනෙකුට වරදක් නෑ පාඩුවේමයි හිටින්නේ
ගමටම කරුණාවයි රොස් පරොස් නෑ දොඩන්නේ
තරහ එහෙම ආවොත් කාටවත් බේරුමක් නෑ


එලොව ඉඳල ආපු එක්කෙනා බොරුයි කිව්වේ
කියල තරහ ආවා දෙයියනේ බොහොම හයියෙන්
කොහොම ද බොරු වෙන්නේ දුව හම්බත් වුණාලු
කනකර බඩු ගත්තේ කන්න දෝ ඒව උන්දෑ



මගට බැහැල පොඩ්ඩක් සෙව්වොතින් නම් හොඳයි නේ
හිතට කරදරයි දැන් ඇයි ද නාවේ කියාලා
මට නරකට උන්නොත් කවුරුවත් පිස්සු වාගෙයි
කරන කියන දේ වත් දන්නෙ නෑ ඒ වෙලාවේ

(කළු අප්පු නොංඩි ගසමින් දකුණු පසින් රඟ බිමට පිවිසෙයි)


හැබෑවටම මොකෝ පයින්?
යනකොට ගිය අස්පය කෝ?


හම්බවුණේ නැද්ද මිනිහ?
මෙලහකටත් ගිහිල්ල ඇති
එලොවට යන කොට මිනිහෙක්
හිටපු ගමන් නොපෙනි යනව


මෙහේ ආපු වෙලාවෙදිත්
එක පාරට පේන්න හිටිය
මම හරියට බයත් උණා
කොහෙන් ද මේ ආවෙ කියල


කළු අප්පු -
නෑ නෑ මට හම්බ වුණා
එලොව ඉඳල තමයි ආවෙ
ආයෙත් ගියෙ එලොවටමයි
හිටපු ගමන් නොපෙනි ගියා


කනකර බඩු ටික ඔක්කොම
දුවට ගිහින් දෙනව කිව්ව
කනකර බඩු උඹෙත් හින්දා
මමත් දෙන්න එපැයි මොකුත්


කළුහාමි -
අනේ ඒක නම් හැබෑව
අප්පොච්චිත් මතක් කළැයි
දැන ගත්තම දෝණියැන්දැ
කොච්චර සන්තොස වෙයි ද?


මොක ද ඉතින් දුන්නෙ නැත්තෙ
දුවට දෙන්න කියල මොකුත්
අඬ ගහගෙන ඇවිත් මෙහේ


කළු අප්පු -
ආයෙ එන්න බැරිය කිව්ව
පමා නොවී ඉක්මනින් ම
එලොව යන්න ඕන හින්ද


මා ළඟ මොකවත් ම දෙයක්
තිබුණෙ නෑ නෙ දුවට දෙන්න
හදිස්සියෙන් ගන්න මුකුත්
ඇත්තෙත් නෑ ඒ වෙලාවෙ-
මට හිතිච්චි අස්පයවත්
යැව්වොත් හොඳ නේද කියල
අස්පය මං දුන්න ගොහින්
දෙන්න කියල මගෙන් තෑගි


ගමනක් බිමනක් යන කොට
පුළුවන් නේ නැඟල යන්න
ඒකයි මං පයින් එන්නෙ
අස්පය ගෙනියන්න දීල


කළුහාමි -
කොච්චර නම් හොඳද ඒක
රතවාහන තිබුණත් එහෙ
ඒවෑ යන එක හොඳ නෑ
රිදී රත්තරන් ඇඳගෙන


යන කොට හොරු කඩා ගනියි
ගෑනු ඉරිසියා කරයි


කළු අප්පු - කොලු ගැටයෝ පද හදාවි
කළුහාමි  - කෙල්ලෝ ඇද කුද හොයාවි
කළු අප්පු - එක එක වල්පල් කියාවි


දෙදෙනම - රිදී රත්තරන් ඇඳගෙන
              හැට්ට රෙද්ද උජාරුවට
              අස්පය පිට නැග යන කොට
              දකින දකින අය කියාවි
              ආං යනව 


කළු අප්පු - කළු අප්පුගෙ දූයි කියල
කළුහාමි - කළුහාමිගෙ දූයි කියල
දෙදෙනාම - කනකර බඩු දුන්නෙ කවුද?
කළුහාමි - කළුහාමියි දුන්නෙ ඒව
දෙදෙනාම - සුදු අස්පය දුන්නෙ කවුද?
කළු අප්පු - කළු අප්පුයි දුන්නෙ ඌව
කළුහාමි - අම්ම දුන්න කනකර බඩු
කළු අප්පු - අප්ප දුන්න සුදු අස්පය


දෙදෙනාම -
රිදී රත්තරන් ඇඳගෙන
හැට්ට රෙද්ද උජාරුවට
අස්පය පිට නැග යන කොට
දකින දකින අය කියාවි
ආං යනව


කළු අප්පු - කළු අප්පුගෙ දූයි කියල
කළුහාමි - කළුහාමිගෙ දූයි කියල


(දෙදෙනාම නටති)


අවසාන නැටුම් පදය :-
දොංත ගදං ගද් දිග්ගද ගද්ද
ගද්ද ගදං ගුං දිංගද ගුංද
දොතං ග තගුනිග තගුනිග තගුනිග
තගුනිග තගුනිග තගුනිග තා//
ගංද ගදං ගුං දිං ගද ගද්ද
ගද්ද ගං ගුද දහිං


(අට වරක්)

(c) Shilpa Sayura Foundation 2006-2017