කම්මල්කරු -
රාළහාමි මොනව ද මේ කියන්නේ?
දන්නෙ නැද්ද මම කම්මල් කරිවා නේ
කොහොම ද මං හාමිනේව රවටන්නේ?
දවස තිස්සෙ මං මෙතනයි හිටින්නේ
ඔළුවෙ ඔතල රෙදි පටියක් තියෙන්නේ
ගැලෙව්වාම හරි විදියට පෙනෙන්නේ
රාළහාමි කිව්ව වැඩෙයි කරන්නේ
මතක නැද්ද මම කම්මල් කරුවා නේ
හැබෑවටම ඒක ඇත්ත
මේ නං කිරිපුංච නේද?
මං එනකොට වෙන ම කෙනෙක්
මෙතන ඉඳන් යකඩ තැළුව
උඹේ කපටි කමත් මේක
ඇඳුම් මාරු කරගෙන උඹ
මගෙ ගෙදරට ගිහිං උදේ
හාමිනේව රවට්ටලා
රිදී රත්තරන් අරගෙන
බොරු කියාල කරපු දේට
බලපිය තොට කරන වැඩේ
දියකො ගත්තු කනකර බඩු
කම්මල්කරු -
අනේ රාළහාමි ඔහොම
තරහ වෙන්නෙ නැතුව ටිකක්
මමත් කියන දේ අහන්න
හාමිනේව රවට්ටලා
කනකර බඩු ගන්න ඇත්තෙ
අන්න අතන ඉන්න මිනිහ
මාවත් දැන් රවට්ටලා
බොරු කියාල බය ගන්නල
මේ රෙද්දයි කළු පටියයි
මට අන්දලා මාව යවල
ඔන්න ඔතන ඇති කම්මල
කළු අප්පු -
කවුරු ගැන ද ඔය කියන්නෙ?
අතන හිටපු අර මිනිහද
කෝ? දැන් ඌ නෑ පෙනෙන්න
මගේ අස්පයත් නෑ නේ
ඌත් අරන් ගිහිං වගෙයි
අපොයි මමත් රැවටුණු හැටි
කම්මල්කරු -
ඒක තමයි මම කියන්නෙ
උන්දැ අස්පයත් අර ගෙන
ගිහිං වගෙයි පේන්න නැත්තෙ
රාළහාමි ඉල්ලපු බඩු
හද හද මං හිටිය වේලෙ
ඌ ඇවිදින් බොරු කියාල
රාළහාමි පුපුර පුපුර
මගේ ඔළුව පොඩි කරන්න
දුවගෙන එන වගක් කියල
ඇඳුම් මාරු කරගෙන මට
හැංගෙන්නෙයි කිව්ව ගොහින්
කළු අප්පු -
ඔව් ඔව් දැන් මට පේනව
උඹේ කීම ඇත්තක් බව
හරිම කපටි මිනිහෙක් නේ
කනකර බඩු විතරක් නම්
ඉවසගන්න බැරි යැ බොලේ
ඕකව මට හම්බ වුණොත්
දන්නව මං කරන වැඩේ
මං හන්දියෙ තියාලා
මඩු වලිගෙන් තළාලා
පුවක් කඳන් දෙකක් මැද්දේ
බැඳල කකුල් දෙක තද කර
ඕකව මං ඉරාලා
දෙකට තුනට පළාලා
දන්නව මං කරන වැඩේ
(රඟ බිම වටා දෙවරක් නටමින් ගොස්, දකුණු පසින් පිටවී යයි.)