දෙවැනි ජවනිකාව
 

(කම්මලක්)


කම්මල්කරු -
ඉර නැග එන කොට ගිනි මොලවන්නේ
ගිනි මොලවාගෙන යකඩ තළන්නේ
දාඩිය පෙර පෙර දවස ගෙවන්නේ
ඉර බැස යන කොට යකඩ තළන්නේ


රාළහාමිටත් යකඩ තළන්නේ
කාසි නැතුවමයි ඒව කරන්නේ
බාර ගන්න බෑ කිව්වෝතින්නේ
දාල යන්නටයි ගම රට වෙන්නේ


(හිඟන්නා දකුණු පසින් රඟ බිමට ඇතුල් වී වේගයෙන් එය හරහා ගමන් කරයි. රඟ බිම වටා පිමි පැන ගොස් කම්මල්කරු අතින් අල්ලයි.)



හිඟන්නා -
ඉක්මන් කර පලයන් බං
මෙතන ඉන්ඩ එපා තවත්
ගමරාළයි දුවන් එන්නෙ
උඹේ ඔළුව පොඩි කරන්න

දන්නෙ නැද්ද මිනිහගෙ හැටි
තරහ ගිහින් වගෙ හොඳටම
මම ඉන්නං උඹ වෙනුවට
නැහැයි කියන්නං උඹ මෙහෙ


කම්මල්කරු -
මොකද්ද බං මේ කතාව?
මට තේරුණෙ නෑ හරියට
රාළහාමි මගේ ඔළුව
පොඩි කරන්න එනව කිව්ව?


රාළහාමි තරහ වෙන්න
මොකක් ද මං කරපු වරද?


හිඟන්නා -
මම කොහොම ද ඒව දන්නෙ?
මං කියන්නෙ බොරුවක් නම්
බලපං අර කව්ද කියල
අස්පය පිට නැගල එන්නෙ


මමමෙ ආවෙ උඹට මේක
කියල උඹව බේරගන්න
හනික ගොහින් හැංගියන්කො
මම ඉන්නං උඹ වෙනුවට


කම්මල්කරු -
හැබෑවට ම රාළහාමි
නේද එන්නෙ අස්පය පිට?
බඩු වගයක් හදල දෙන්න
කියාල නම් ටික දවසක්-
පමා වෙච්ච හින්ද තමයි
තරහ ගොහිං එනව ඇත්තෙ
කුලියක් වත් නොදෙන හින්ද
බාරගත්ත වෙන වෙන වැඩ


මොනව කරන්න ද යාළුව?
කන්න බොන්න එපැයි අපිත්?
උන්දෑ ගෙවල් හදාගන්න
අපිව තියං හම ගහනව


හිඟන්නා -
ඔන්න ඉතිං මේ වෙලාවෙ
ඕව කියල වැඩක් නෑ නෙ


ඕක ඔළුවෙ ඔතාගනිං
අඳුනගන්න බැරි විදියට
මේ රෙද්දත් ඉනේ ඔතං
හැංගිල හිටපං කොහෙ හරි


(තම හිස පටිය හා රෙද්ද ගලවා ඔහුට අන්දවයි. කම්මල්කරුවා නික්ම යයි. කළු අප්පු අශ්වයා පිටින් ඇවිත්, අශ්වයා පසෙක නවත්වා බසියි.)


කළු අප්පු -
කෝ දැන් මෙතනට රිංගපු මිනිහා?
ඇයි උඹ නොදැක්ක වාගේ ඉන්නේ?
පොඩි කරනව උඹේ ඇට කටු ඔක්කොම
කියපං කොහේ ද හැංගිල ඉන්නේ?


(හිඟන්නා යකඩ තළමින් පිළිතුරක් නොදී සිටියි.)


බීරිද මිනිහෝ කන නෑහෙන්නේ
කියපං විගහට, කටේ ගෙඩි ද බං?


හිඟන්නා -
අනේ කියපු දේ නෑ නොවැ ඇහුණේ
කන්දොස්කිරියාවෙන් මේ හිටියේ
යකඩ තළන කොට ඔහොමයි තිස්සෙම
අහළ පහළ වෙන දේ නෑ දන්නේ


කළු අප්පු -
මිනිහෙක් ආවා මේ දැන් මෙතනට
කොහේ ගියා ද කියලයි මම ඇහුවේ


හිඟන්නා -
ඔව් ඔව් යන්තං දුටුවා කවුදෝ
කළු රෙදි පටියක් ඔළුවෙ ඔතාගෙන
මහ ලොකු කලබල ගතියක් ආවා
ඔන්න ඔහේ පිළිකන්නට දිවුවා


කළු අප්පු -
මේ කම්මලෙ හිටි කිරිපුංචා කෝ?
කවදා ඉඳල ද උඹ මෙහෙ ඉන්නේ?


හිඟන්නා -
කිරිපුංචාගෙන් කම්මල අර ගෙන
ගත උණෙ නෑ තව දවස් දෙකක් වත්
ඒකයි මං මේ මොකුත් නොදන්නේ
කවුද කියාවත් කින්ද මන්ද වත්


කළු අප්පු -
කළු රෙදි පටියක් ඔළුවෙ ඔතාගෙන
ආපු මිනිහ නං උන්දැ තමයි ඒ
කොහේ ද දිව්වේ කියපං විගහට


හිඟන්නා -
ඔන්න ඔහේ පිළිකන්නට දිව්වා
මගෙ හිතෙ හැංගිල ඇති ඔය පැත්තේ


(කළු අප්පු රඟ බිමේ දකුණු පසින් පිටවී යයි. හිඟන්නා මිටිය බිම තබා පොට්ටනිය කරට ගනියි.)


හිඟන්නා -
මෙදා පොටේ කලදසාව
හොඳ වෙන පාටයි පෙනෙන්නෙ
හිඟා නොකා අඩු ගණනේ
අවුරුද්දක් ඉන්න ඇහැකි


කවද සිද්ද වෙන දෙයක් ද
අස්පයෙකුත් හම්බ වුණා
ලේසියෙන් ම එලොව යන්න


කළුහාමිගෙ දුවට ගිහින්
දෙන්න ඇහැකි ගමන් යන්න
රිදී රත්තරං ඇඳගෙන
යන්න විදියකුත් එපා යැ?


මාත් එක්ක එලොව යන්න
කැමති ද උඹ අස්පයෝ?
හනික යමං
ගාට ගාට ඉන්නෙ නැතුව
එක පිම්මට


හඳට උඩින් තියෙන එලොව
ඉරට උඩින් තියෙන එලොව
හුළඟ වාගෙ යන්න ඕනැ
කන්ද උඩින් ඉගිල්ලිලා


අහස් ගඟේ ඵිනලා
වලාකුළේ පාවෙලා


හනික යමං
ගාට ගාට ඉන්නෙ නැතුව
එක පිම්මට


මාත් එක්ක
එලොව යන්න
කැමති ද උඹ අස්පයෝ?


(හිඟන්නා අශ්වයා පිට නැගී රඟ බිම වටා දෙවරක් ගොස්, වම් පසින් පිටවී යයි. කළු අප්පු කම්මල් කරුවාට තළමින් ඔහු සමඟ පිවිසෙයි.)




කළු අප්පු -
මගේ ගෑනි රවට්ටලා
බොරු කියාල
මම නැති කොට
රිදී රත්තරං ඔක්කොම
හොරකං කරගෙන ආවට

මං හන්දියෙ තියාලා
මඩු වලිගෙන් තළාලා
ඇට කටු ටික පොඩි වෙන කල්
මෝල් ගහෙන් බෙදාලා


දෙකට ත‍නට කපාලා
බලපිය තොට කරන වැඩේ

(c) Shilpa Sayura Foundation 2006-2017