හිඟන්නා -
කියන දෙයක් ගෙනියන්නං
කෑම බීම නං එලොවේ
ඒ තරම්ම හිඟයක් නෑ
හිඟ දේවල් වෙන තියෙනව
කළුහාමි -
බාගෙදාට නොයෙක් විදියෙ
කෑම බීම ඇති එලොවෙත්
ඒ වුණාට ගෙදර හදන
ඒව වගේ මොන රහක් ද?
කියනව නම් ගෙනියන්නං
වැලි තලපයි කෙහෙල් ගෙඩියි
එදා හම්බවුණු වෙලාවෙ
කියපු දෙයක් මතක් වුණා
කනකර බඩු ගෙනියගන්න
බැරි වුණාට ළතවෙනවලු
ගමනක් බිමනක් යන්නත්
හැටියක් නැතුවමයි ඉන්නෙ
සල්ලි දීල ගන්න ඇහැකි
ඕන තරම් කනකර බඩු
අල්ලන්නෙනම නැතිලු හිතට
අම්ම දීපු ඒව වගේ
කළුහාමි -
ඒක හැබැයි මම දන්නව
මම හදෝල දීපු ඒව
නියම රතතරං බඩු නේ
පොඩ්ඩක්වත් කලවං නෑ
සල්ලි දීල ගත්තත් එහෙ
විකණන බඩු කොහෙත් එකයි
මේව නියම රත්තරන් ම
මකවල මං හදෝපුවා
මම දෙන්නං අරන් යන්න
කනකර බඩු ටික ඔක්කොම
පරෙස්සමින් ඇති තියාල
මොකුත් වෙන්න දෙන්නෙ නැතුව
(රඟ බිමේ පසෙකට විත් පෙට්ටිය ගෙන හිඟන්නාට දෙයි.)
හිඟන්නා -
පරෙස්සමින් ගෙන ගොහිල්ල
දෙන්නං මම මේ පෙට්ටිය
කොච්චර සන්තෝස වෙයි ද
මේව දැකල දෝණියැන්දැ?
(කළුහාමි නැවත ඇතළට යයි.)
කෙලින්ම මං මේ ගමන් ම
පිටත්වෙලා යන හින්දා
අර කියාපු වැලි තලපත්
ගෙන ගොහිල්ල දෙන්න ඇහැකි.
(රඟබිමට පිවිස හිඟන්නාට වැලිතලප හා කෙසෙල් ගෙඩි දෙමින්)
කළුහාමි -
අනේ උඹට පිං අත්වෙයි
මේ ටික ගෙනිහිං දීපං
උඹටත් ඔහෙ රහ බලන්න
දෙන්නෙ නැතැයි ටිකක් එහිදි
හිඟන්නා -
මම නං නෑ ඕව කන්නෙ
කොච්චර බඩගිනි තිබුණත්
මම නැහැ පැණි රහට කැමති
මෙහෙමම ගෙන ගොහිං දෙනව
(හිඟන්නා රඟ බිම වටා දෙවරක් නටමින් ගොස්, වම් පසින් පිටවී යයි. ඊට අනතුරුව කළු අප්පු දකුණු පසින් රඟ බිමට පිවිස රඟබිම වටා එක් වරක් නටමින් එයි.)
කළු අප්පු -
මගෙ නම කළු අප්පුයි - ඒ වුණත් ගම්මු කවුරුත්
මට නිතර කියන්නේ - රාළහාමි කියාලයි
වැඩපල වැඩි හින්දා - කොයි වෙලාවෙත් පිටයි මං
ගෙට වෙල වරුවක් වත් - ඉන්න ඉස්පාසුවක් නෑ
ඉඩමක කොටහක් මං - ගත්ත වෙල් යාය පැත්තෙන්
පොඩියට ගෙයකුත් දා - ගන්න ඕනැයි කියාලා
එක දිගටම රස්සා - වල් කරන්නත් අමාරුයි
වයසට යන කාලේ - යම් සැපක් ඕනෑ නේදෝ
ඉතුරු කරපු දේකුත් - ඇත්තෙ නෑ මෙච්චරක් කල්
ණය තුරහට බැඳිලයි - ඒ ඉඩම් පොඩ්ඩ ගත්තේ
ගෙදර අයට නම් නෑ - මේව තේරෙන්නෙ කිව්වත්
පිරිමැස්මක් කියලා - ඇතතෙ නෑ කොයිම දේකත්
(කළුහාමි පිවිසෙයි.)
කළුහාමි -
අද මට සන්තෝසයි - හිතටත් සැනසීමයි
දුව ගැන ලැබුණා නේ - එලොවින් ආරංචි
සැපසේ ඉන්න හැඩයි - අපි ගැන හෙව්වාලු
ඇවිදින් කියල ගියා - අඳුනන මිනිහෙක් දැන්
කළු අප්පු -
එලොවින් ආරංචි? මොනවද දොඩවන්නේ?
හැදිලද ඔල්මාදේ? දුටුවද හොල්මන් වත්?
කළුහාමි -
කොයි දේ කිව්වත් මං කනකට ගන්නේ නෑ
ඔන්නං දිවුරන්නං මගෙ ඇස් දෙක පල්ලා
මිනිහෙක් මෙහෙ ආවා ටිකකට කලියෙන් දැන්
ආවලු එලොව ගිහින් ආයෙත් යනවාලු
කළු අප්පු -
ආවලු එලොව ගිහින්? ආයෙත් යනවාලු
ඉතිං ඉතිං කියපං මොනවද ආරංචි?
කවුද බොලං උන්දෑ ආවේ එලොව ඉඳන්?
උන්දෑ එක්ක උඹටත් යන්නට තිබුණා නේ?
කළුහාමි -
එලොව ගිහිං එන්නේ එහෙමත් මිනිහෙක් ලූ
නැත්තං මෙලහට මං ගිහිනුත් ඇවිදිං නේ
ආයෙත් ඒ මිනිහා එලොවට යන හින්දා
ගෙනියන්නට දුන්නා දුවටත් කෑම ටිකක්
කළු අප්පු -
අනේ අනේ මම නං කොහොමත් හිතුවේ නෑ
මේ තරමට ගෑනුන් රැවටෙනවයි කියලා
දුන්නට වරදක් නෑ වැඩිපුර ඇති කෑමක්
කියන කියන බේගල් නැත්තං පිළිගන්නේ
කළුහාමි -
මට නං විස්වාසයි මිනිහා කියාපුවා
දුව ගේ විස්තරයත් හරියට හරි කිව්වා
ඕනැයි කිව්වලු ඈ කනකර ආයිත්තං
ඔක්කොම ටික දුන්නා ගෙනිහිං දෙන්න කියා
කළු අප්පු -
ඇත්තද උඹ මේ කියන්නෙ
කනකර බඩු දුන්න කියල?
රිදී රත්තරං බඩු ටික?
කොහෙං ආපු හොරෙක් ද ඒ?
කළුහාමි -
දුවට ඕන කිවෛව හින්ද
දුන්න ඈට ගිහිං දෙන්න
ඈට මුකුත් යවා ගන්න
කවද ද ආයෙත් ලැබෙන්නෙ?
කළු අප්පු -
උඹල වගේ ගෑනු එක්ක
කොහොම ද බං ඉහගහන්නෙ?
මෙහෙමත් හොරු ඇද්ද ලෝකෙ
මගේ ගෑනි රවට්ටලා
ඇවිදිං මම නැති වෙලාවේ
බොරු කියලා
හොරකං කර-
උන්දැට මම දෙන්නම්කෝ
උන්දැව මම අල්ලාගෙන
මං හන්දියෙ තියාලා
මඬු වලිගෙන් තළාලා
ඇට කටු ටික පොඩි වෙන කල්
මෝල් ගහෙං බෙදාලා-
දන්නව මං කරන වැඩේ
ගෙවල් වලට ඇවිල්ල මුං
මෝඩ ගෑනු රවටන හැටි!
කොහෙන් ද ඒ හොරා පැන්නෙ?
මොනවද ඌ ඇඳන් හිටියෙ?
කළුහාමි -
කොටු කොටු රෙද්දක් ඇඳගෙන
ඔළුවෙ ඔතල කළු පටියක්
ඔන්න ඔහෙන් තමයි ගියේ
මොකට ද පස්සෙන් දුවන්නෙ?
(කළු අප්පු රඟ බිමේ වම් පසින් පිටවී යයි.)
දුවගෙ නේද කනකර බඩු?
මොකට ද අපි තියා ගන්නෙ?
ගෙන ගොහිල්ල දීපු දෙන්කො
ආසාවට දමාගන්න //