පළමුවන ජවනිකාව
 

(කළුහාමිගේ ගෙදර)


(කළුහාමි දක‍ණු පසින් රඟ බිමට පිවිසෙයි. ඈ රඟ බිම වටා එක් වරක් නටමින් ගොස්, අනතුරුව මැදට පැමිණ ගීය ගයන්නට පටන් ගනී.)


කළුහාමි -
මගෙ නම කළුහාමි යි, මේ ගමේ මයි උපන්නේ.
ඉපදුණු ගම දාලා නෑ කොහේවත් ගිහිල්ලා
මගෙ නම කළු අප්පුයි මේ ගමේ රාළහාමි
හොඳ හිත ඇත කාටත් ඒක කවුදැයි නොදන්නේ
මගෙ දුකසැප කෝකත් උන්නැහේම යි බලන්නේ
ඉඳල හිටල බැන්නත් මෝඩ ගෑනියි කියාලා
අපි ගැන සලකන්නා මේ ගමේ කවුරු කවුරුත්
අත මිට හිඟයක් ඒකෙනුයි ඉන්නේ යන්තන්
කොහොමට සැප වින්දත් ජීවිතේ කාලකන්නියි
මට කිසි සැනසිල්ලක් ඇත්තේ නෑ
                           කොයි වෙලාවෙත්
මගෙ දුව පණ වාගේ ආදරෙන් මං හදාගත්
නැතිවෙල අවුරුද්දයි දැන් වගේ මයි දැනෙන්නේ
එලොවට ගිය දායින් පස්සේ ආරංචියක් නෑ
කොහොමද දැන ගන්නේ කවුරුවත් නාපු හින්දා


 

(හිඟන්නෙක් දකුණු පසින් රඟ බිමට පිවිසෙයි. ඔහු රඟ බිම වටා ගොස් වරක් නටමින් ගොස් නැවතී, ගීය ගයන්නට පටන් ගනී)

හිඟන්නා -
මෙලොව දී තව තව ලැබෙන්න
එලොවදී දුක නැතුව ඉන්න
දිව මාලිග පහළ වෙන්න
පිනට මොකුත් මට ලැබෙන්න


දෙමව්පියන් දූ දරුවන්
නාමෙට පින් පමුණුවන්න
මළ ගිය ඇත්තන් වෙනුවන්
පිනට මොකුත් මට ලැබෙන්න


මේ වගෙ උප උපන් ජාති
අග හිඟයක් නැතුව ඉන්න
නිරෝගි සම්පත් ලැබෙන්න
පිනට මොකුත් මට ලැබෙන්න


සංසාරෙන් එගොඩ වෙන්න
නිවන් සැපත ලබා ගන්න
දුප්පත් මේ හිඟන්නාට
පින් සලකා මොකුත් දෙන්න


කළුහාමි -
මේක හරිම කරදයක්
කොහේ ගියත් හිඟන්නොමයි
ගෙදර ඉඳලවත් නෑ නේ
පොඩ්ඩක් නිදහස ලැබෙන්නෙ


වැඩ කරලා මහන්සියෙන්
හම්බ කරන දේ සේරම
හිඟන්නන්ට බෙදල දීල
බඩගින්නෙයි ඉන්න වෙන්නෙ


උඹට දෙන්න තඹයක්වත්
මා ළඟ නෑ මේ වෙලාවෙ
පස්සෙ වරෙන් වෙන දවසක
මාරු කරපු සල්ලි තියෙන


හිඟන්නා -
මුළු දවසෙම කන්න මොකුත්
ලැබුණෙ නැතුව හාමතේම
ඔළුව උස්සගෙන ඉන්නත්
බැරි හින්දයි මෙහේ ආවෙ


ඉතුරු වෙච්ච කෑම ටිකක්
තියෙනව නං මට ලැබෙන්න
හිටගෙන ඉන්නත් පණ නෑ
හාමිනේට පිං අත්වෙයි


කළුහාමි -
මොන කෑම ද මේ වෙලාවෙ?
බත් කාලත් ඉවරයි නේ
හැළි වළනුත් හෝදල දැන්
බත් ඇටයක් වත් නෑ ගෙයි


ගෙටක් ගානෙ හිඟා කන්නෙ
නැතුව ගිහින් වැඩ කරපන්
අත පය තියෙනව නෙ යසට
රස්සාවක් හොයා ගනිං


හිඟන්නා -
දෙවි පිහිටෙන් මගෙ අතපය
නොකැඩී තියෙනව යන්තං
ඒ වුණාට වැඩ කරන්න
තවම අමාරුයි හාමිනෙ


අවුරුද්දක් ඇඳේ හිටිය
අත පය හොලවන්න බැරුව
යන්තං පෙර පිනක් තිබිල
එලොව ගිහිං මෙලොව ආව


කළුහාමි -
ඇත්තද උඹ ඔය කියන්නෙ
එලොව ගිහින් ආව කියල?
හිතන්නවත් අමාරුයි නෙ
එහෙම දෙයක් වෙනව කියල


හිඟන්නා -
හිතන්නවත් බෑ හාමිනෙ
මොකටද මම බොරු කියන්නෙ?
එලොව ගිහින් තමයි ආවෙ
මට උණු දේ මමයි දන්නෙ


කළුහාමි -
හැබෑවටම එලොව ගිහින්
ආව කියන ඔය කතාව
ඇතතක් නං ඇයි මගෙ දුව
එන්නෙ නැත්තෙ උඹ වාගේ?


දුව ගිහිල්ල අවුරුද්දක්
විතර වෙනව:අද වෙනකල්
උන්දැගෙ වංහුං මොකවත්
බැරි උණා නෙ හොයා ගන්න


හිඟන්නා -
එලො ගිහිං එන එක නං
ලේසි පාසු වැඩක් නෙවෙයි
එලොව ගිහිං මෙලොව එනනෙ
එහෙමත් එක්කෙනෙක් තමයි


කළුහාමි -
මමත් හිටිය හම්බ වෙන්න
එලොව ගිහින් ආපු කෙනෙක්
එහේ ඉන්න මගේ දුවගෙ
සුවදුක් දැන ගන්න අහල


කළුහාමිගෙ දුව කිව්වම
කොයි කවුරුත් දන්නව ඇති
කොහොමද දුව සනීපෙන්ද?
අපිව මතක නැති වෙලා ද?


හිඟන්නා -
හරි හරි මට දැන් මතකයි
හම්බ වෙලත් තියෙනව වගෙ


අර හැදිච්ච ගති ගුණ ඇති
ළමය නේද ඔය කියන්නෙ?
වැඩිය කතා බහක් නැතුව
තමාගෙ පාඩුවේ ඉන්න?


උසකුත් නෑ ඒ තරම් ම
මිටි බවකුත් නෑ පෙනෙන්නෙ
හරියට හාමිනේ වගේ
ඇරපු අතක් නෑ බැලුව ම


කළුහාමි -
ඔව් ඔව් ඒ එයා තමයි
කියපු විදිය හරියට හරි
දැක්කොත් නං කෙනෙක් ඈව
අම්ම වගේ මයි කියනව


ඈට මොකුත් ඕන නැද්ද?
මොනවද අඩු පාඩු එහෙම
තිස්සෙම හිත හිතා ඉන්නෙ
මොනව නමුත් යවන හැටියි


කෑමක් බීමක් හැදුවත්
ටිකක් කවන්නමයි හිතේ
යවාගන්නෙ කොහොමද
කියලයි නිතරම කල්පනාව


උඹට ආයෙ එලොව යන්න
නැද්ද අදහසක් කොහෙත්ම?
එහෙම යන්න සිද්ද වුණොත්
මට නොකියා යන්න එපා
දුවට මොකුත් යවාගන්න
විදියක් හොය හොයයි හිටියෙ


හිඟන්නා -
මේ ගමන් ම ආයෙත් මම
එලොව යන්න තමයි ඉන්නෙ
මේ ලොව නම් ඉඳල වැඩක්
නැති පාටයි මට පෙනෙන්නෙ


දුප්පත් අපි වගේ අයට
පිනට මොකුත් ලබා ගන්ම
මෙච්චරටම අමාරු නම්
එලොව යන්න තමයි වෙන්නෙ


කළුහාමි -
උදේ හදපු වැලි තලපයි
කෝලිකුට්ටු ඇවරියකුයි
යවාගන්න ඇත්නං මට
කොච්චර වාසනාවක්ද?


(c) Shilpa Sayura Foundation 2006-2017