(ගම ගෙදර - ගමරාළ බුලත් හපයි. ගම දුව වී කොටන අතර ගම මහගෙ හාල් කුල්ලක් රැගෙන පිරික්සමින් ගමරාළ වාඩිවී සිටින තැනට පිවිසේ.)
මේ.... ඇහුන ද? හනේ මං කී දවසක් කිව්ව ද මේ ගේ වටේට තියෙන පඳුරු එළි කරල දාන්න කියල. අද කපු මහත්තයත් එනව කිව්ව දුවගෙ අර කටයුත්ත ගැන තීන්දුවක් අරං. ඉතිං ගෙදර දොරේ කලඑළියක්වත් තියෙන්න එපැයැ මේ දවස්වල.
ගම දුව : ඒක විතරක් නෙවේ. ඕං දැන් කැලේ සත්තුත් මෙහාට එන්න බෝවෙලා.
ගමරාළ : මාත් දැක්ක කීප දොහක් නරියෙක් කැරකෙනවා මේ වත්ත පැත්තෙ.
ගම දුව : අනේ මගෙ දඩෝරිය හිටිය නම්.
ගම මහගෙ : ඔව්, උබේ ඔය දාංගලේ හින්ද තමයි ඒ බල්ලත් නැති උනේ. (ගමරාළට) අවුරුද්දට වෙඩි පත්තු කරල බල්ල බයේ ගිය ගමං තවත් නෑ.
ගමරාළ : ඔන්න බල්ල ඉන්නවලු එපිට කන්දෙ උඹලෑ පුංචි අම්මලාගෙ ගෙදර.
ගම දුව : අනේ තාත්තෙ මගෙ දඩෝරිය ගෙනත් දෙන්න. (යමෙක් ඈත එනු දැක ගමරාළ එබිකම් කරයි.)
ගමරාළ : අන්න කපු මහත්තය ද කොහෙද එනව වගෙ පේනව ඈත.
ගම මහගෙ : එහෙනම් තීන්දු කරගෙන ම එනව ඇති. (දුවට) කෙල්ලෙ පලයං ගේ ඇතුලට.
(ගම දුව පිට වේ. මගුල් කපුවා පැමිණේ. ගම මහගෙ ඉලත්තට්ටුව පිළියෙළ කරයි.)
ගමරාළ : ආ... කපුමහත්තය වාඩි වෙන්ඩ එන්නකෝ... කොහොම ද ඉතිං කටයුතු එහෙම. (කපුරාළ හරි බරි ගැහී වාඩිවෙයි.)
කපුරාළ : ආයෙත් අහල මම යමක් කළොත් ආයෙ ඒකේ අඩු පාඩුවක් නෑ. සේරෝම තීන්දු කළා.
ගම මහගෙ : (ඉලත්තට්ටුව පිළිගන්වමින්) කපු මහත්තය අත ගහපු දෙයක් ආයෙ ඉතින් බලන්න ඕනෑ නැති බව දන්නෙ නැතිවයැ.
කපුරාළ : දැන් ඉතිං සේරම හරි....හැබැයි මෙතෙක් දෙනව කියාපුව ඔක්කොම කිසි ම අඩු පාඩුවක් නැති ව දෙන්න ඕනෑ.
ගම මහගෙ : අපේ ඉතිං වචන දෙකක් තියෙනවයැ කපු මහත්තයෝ..
කිව්වොත් ඉතිං කිව්ව ම යි.
කපුරාළ : එහෙනම් අපි නැකත් දිනයක් තීරණය කර ගනිමු.
(ශබ්දයක් ඇසෙයි. කෝට් එකක් ඇඳගත් නරියා ගෙට ඇතුළු වී පසෙකට වෙයි. සියල්ලෝම පුදුම වී එකිනෙකාගේ මුහුණ බලති.)
කපුරාළ : (පුදුමයෙන්) මොකෙක් ද යකෝ ඒ.
ගමරාළ : නරියෙක් වාගෙ... කෝට් එකකුත් දාගෙන ...පුදුම යි.
කපුරාළ : මොනව කවුරුවක්වත් වෙස් මූණක්වත් දාගෙන කොලොප්පමක්වත් ද දන්නෙ නෑ (නරියා දෙසට හැරී...රැල් බුරුල් හැර) හඃ..ආ..මේ...මොක ද?
නරියා : නෑ මං නිකං පොඩි ගනුදෙණුවක් ගැන කතාකරගන්න ආවා...කමක් නෑ මට පරක්කු උනාට...ඔහෙලගෙ කතා බහ ඉවරකර ගන්නකෝ.
කපුරාළ : (පුදුම වී) නරියෙක් නේන්නම්.
ගම මහගෙ : අනේ මට නං බයේ බෑ මල පිල්ලියක්වත් ද දන්නෙ නෑ.
ගමරාළ : ඇත්තට කපු මහත්තය මෙහෙමත් නරි එයි ද කිසි ම බයක් හැකක් නැතුව. මේක නම් මටත් තෝරගන්න අමාරු යි.
නරියා : නෑ...බය වෙන්න දෙයක් නෑ...මම හොල්මනක් නෙවෙයි...මේ එහා කැලේ ඉඳල යි ආවෙ.
ගමරාළ : ඉතින් මොක ද මේ පැත්තේ.
නරියා : මට ඒ හැටි හදිස්සියක් නෑ.
කපුරාළ : නෑ ඒකට කමක් නෑ කියන්න. මොකක් හරි වැදගත් දෙයක් වෙන්න එපායැ. නැත්තං මෙහෙම බයක් හැකක් නැතු ව ඒවියැ.
නරියා : කියන්ඩ එකක්යැ දන්නවනෙ.
කපුරාළ : නෑ අපි නං දන්නෙ නැහැ.
නරියා : ගම මහත්තයගෙ දෝණියැන් ද ගැන.
ගමරාළ : (පුදුමයෙන්) කාට ද?
නරියා : හරියට දන්නෙ නැතු ව වගෙ.
කපුරාළ : මොනව ද නරි උන්නැහැ. ඔහේ මේ කතා කරන්නෙ විකාර ද, ඔල්මාදෙ ද... ඒ ළමය මේ එහා ගමේ ඉලංදාරියෙකුට, දෙන්න තීන්දු කරලත් ඉවරයි.
නරියා : එහා ගමේ ඉලංදාරියෙකුට, දෙන්න තීන්දු කරලත් ඉවරයි. ඔහෙටයි පිස්සු. ඈ මට යි දෙන්න තීන්දු කරල තියෙන්නෙ.
ගමරාළ : පිස්සු හැදිච්ච නරියෙක් ද කොහෙ ද?
ගම මහගෙ: (ගමරාළට)හනේ දෙයියනේ...මොන විපත්තියක් ද මේ. තනි නරි එන එක මහ දෝසයක්ලු.
නරියා : මට ඇති කිසි පිස්සුවකුත්...මගෙන් ඇති කිසි දෝසයකුත් නෑ.
කපුරාළ : මේ මේ ඔහේට ඔය ළමය ව දෙන්න තීන්දු කළේ කව්ද?
නරියා : කව්ද ඉතින් දෙමව්පියො මිසක්...
ගමරාළ : මොනව...
නරියා : ගම මහත්තයට කිව්වෙ නැත්නම් දැන්වත් අහගන්නකො ගම හාමිනේගෙන්.
ගමරාළ : ගම හාමිනෙ මොනව ද කිව්වෙ.
නරියා : අහගන්නකො මට දුව දෙන්න පොරොන්දු උනේ නැද්ද කියල.
ගමරාළ : මොනව! උඹ කිව්ව ද අපේ දුව මේ නරියට දෙනව කියල.
ගම මහගෙ : විකාරෙ ද මම ඔහොම දෙයක් කියයි ද?
නරියා : ගම හාමිනේට ටිකක් අමතක වෙලා වගේ නේද....හොඳට කල්පනා කරන්න.
ගම මහගෙ : උඹට දෙනව යි කිව්ව මගෙ දුව.
නරියා : ඔව්.
ගම මහගෙ : මොනව?
නරියා : ඇයි මතක නැද්ද එදා කැලේ දර කඩන්න ආපු වෙලාවෙ දුවට කිව්ව.