පළමුවන ජවනිකාව
 

මූලාරම්භය


(තිරය විවෘත කිරීමට ප්‍රථම රබානක් අතේ ඇති ව යාචක ස්වරූපයෙන් ගායකයෙක් පැමිණෙයි)


බොහෝ ඉස්සර අපේ ගම්වල
සමාදානය සතුට තිබුණා
බණ දහම් බෝ හොඳින් පිළිපැද
මිනිස්සුන් හරි හොඳින් හිටියා
සතා සීපා කියා නොබලා
යුක්තියට හැම දේම කෙරුවා
ආරවුල් නෙක ඇති වුණේ මුත්
කිසි ම කලබලයක් කළේ නැහැ
නිවි හැනහිල්ලේ තෝර බේරා
ගන්න වෑයම් කළා හැම විට
ඒ නිසාදෝ වෙන්නැ ඉස්සර
කැලේ සත්තුත් කතා කෙරුවේ
අනේ ඒ කල හැටි සොබාවක්
පෙනේ නම්, දැන්, අපේ දෑසට


(ගීය අවසානයේ දී තිරය විවෘත වේ. ගායකයා ඉවත් වේ. වේදිකාව තුළ කැලයක ස්වරූපය දිස් වේ. කනස්සලු ගතියක් දක්වන විලාසයකින් නරියෙක් පැමිණේ.)


නරියා : මං මේ කැලේ ඉන්න නරියෙක්. වංශය බොහොම උසස්. සිඟාල ගෝත්තරේ. ඒකට මොකද තව ම පෙළ වාසියක් කරගන්න බැරි උණා.


හනේ මං වාගෙ පව්කාරයෙක්. මෙහෙම ජීවත් වෙලා ඇති පලේ මොකක් ද හැමදාම. පවුලක් වෙලා ජීවත්වෙනව කියන එක තරම් උතුම් දෙයක් තවත් ලෝකේ තියෙනව ද? නිකං උන්නොත් ඉතිං නිකම් ම යි.


හනේ මං වාගෙ කාලකණ්ණියෙක්, මං ඔහේ හැම එක්කෙනාට ඇහැ ගහ ගහ ඉන්නව. නිකං වේළි වේළි. මොනව ද මගෙ අඩුපාඩු. හොඳ ගිරිගල් වයස. නුවණක්කාරකම ගැන ඉතින් අපේ වංශෙ එක් කෙනෙකුට නෙමේ ඕනෑම මනුස්ස දුවෙකුට උනත් වටිනව. මට ඒ අය එක්ක උනත් හොඳට කටයුතු කරන්න පුළුවන් කෙනෙක් බව මට විශ්වාසයි.



(මේ අතර පිටත ස්ත්‍රීන් දෙදෙනෙක් කථා කරන ශබ්දයක් ඇසේ. නරියා කලබල වෙයි.)

ගම මහගෙ : (පිටත) දුවේ.
නරියා : සද්දයක්.
ගම මහගෙ : (පිටත) අපි අර කැලේට යමු දර ටිකක් ඇහිඳින්න.
නරියා : සද්දයක් ඇහෙනව මනුස්ස කට හඬක් වගෙ.
ගම දුව : (පිටත) හොඳයි අම්මේ.
නරියා : ඔව් ගෑනු කට හඬක් වාගෙ, ඒක නම් ඒ තරම් බය වෙන්න කාරියක් නොවේ. කෝකටත් සූදානම් සරීරෙ කියල මේ පඳුරටවත් මුවා වෙන්න ඕනෑ.


(නරියා පඳුරට මුවා වෙයි. ගම මහගෙ සහ ගමදුව දර කැඩීම පිණිස ඇතුළු වෙති.)


ගම මහගෙ : (දර කඩමින්) දුවේ, අද නම් දර ටිකක් වැඩිය කඩාගෙන යන්න ඕනෑ. හෙට දිහාවට වහින්නත් ඉඩ තියෙනව. පේන්නෙ නැද්ද බීරිං කරගෙන එන හැටි. ගෙම්බොත් කෑගහනව බක බක ගෑවිල්ලෙ.
(ගම දුව ඇගේ බස්වලට සවන් දෙන්නේ නැති බව දැක)
අනේ දුවේ, උඹට නම් කිසි ම බරක් හෑල්ලුවක් තේරෙන්නෙ නෑ, මොකකවත්. ඔහොම ඉඳල බෑ දැන් ටිකක් වැඩ පොළ කරන්න පුරුදු වෙන්න ඕනෑ. ළිඳ ළඟට ගියත් වරුවක් තිස්සේ කතාව. ඔහොම  වැඩ කරල බෑ දීග තලග දුන්නහම ගෙදර දොරේ වැඩ කරන්න ඕනෑ තනියම.


ගම දුව : ඔන්න අම්ම ඉතින් දීගයක් ඇඳල ගත්ත....අන්න අම්මෙ බලන්නකො අර පිපිල තියෙන ඇහැළ මල්වල ලස්සන. අද කැලේ හරියට ඇහැළ මල් පිපිල.


ගම මහගෙ : ඇහැළ මල්, මොන කෙහෙල් මලක් ද?, මොකද උඹ තව තොත්ත බබෙක් කියල හිතාගෙන ඉන්නව ද? දැන් කී දෙනෙක් උඹ ගැන අහල එවල තියෙනව ද උඹ මෙහෙ තව වැලි බත් උයන්න කල්පනාව.


ගම දුව : ඉතින් අම්මෙ මට මොකද කරන්න කියන්නෙ.
ගම මහගෙ : ඔන්න ඉතින් පත් උත්තර දෙන්න පටන් ගත්ත. මම කිව්වෙ දර ටික වතුර ටික නිතර ගෙදර තියා ගන්න දැන ගන්න ඕනෑ කියල. දීග යන්න ඉස්සර වෙලා ඔව්ව කරල පුරුදු වෙන්න ඕනෑ.


ගම දුව : ඉතින් අම්මෙ, මට ඔව්ව කරන්න බැරි දේවල්යැ.
ගම මහගෙ : හා හා ඔන්න ඔය ඉපල් ටිකක් කඩල දර මිටියක් බැඳපන් පරක්කු වෙන්න ඉස්සර වෙලා. එහා පැත්තෙ හනසු ටිකක් තියෙනව වගෙ දැක්ක, මම ඒක අහුලගෙන එන්නං.


(ගම මහගෙ පිට වේ. ගම දුව දර කැඩීමට පටන් ගන්නා නමුදු ඇගේ සිත ඇදී යන්නේ වනයේ සිරියාවටය. මේ අතර පඳුරට මුවා වී සිටින නරියා ගම දුවගේ රූප ලක්ෂණය දැක මත් වෙයි)

නරියා : චා... ගම දෝණි නම් හරි පංකාදුයි. මෙහෙමත් ලස්සන මනුස්ස දුවක් මං නම් දැකල නෑ මේ කපේදි. අංග පුලාව හරියට වාත්තු කළා වගේ. හරියට උදේ පිපුන ඇහැළ මල් පොකුරක් වගේ, ලස්සන. අනේ පිනක් නෑනෙ මෙහෙම කෙනෙක් ගෙදර ඇත්තො කර ගන්න. හනේ මොනව කරන්න ද, පූරුවෙ පවක් හින්ද තිරිසන් ආත්මෙ ලැබුවෙ.


(මේ අතර ගම දුව ගී ගයමින් නටයි)


 

ගම දුව :
ඇහැළ මලින් ගස් පිරිලා
බලන්න හරි ලස්සන යි
අඹ රඹුටන් ජම්බු ඉඳිල
අද හැම තැන හරි හැඩ යි

දොඹ ගස් යට මල් හැලිලා
සුවඳක් හැම තැන දැනෙයි
වලි කුකුළන් හඬලන කොට
අහං ඉන්න හරි හිතයි


ගස්වල දලු නැළවෙන කොට
ඇඟට හරි ම සීතල යි
ඉගිලෙන අර සමනලයින්
අල්ලන්නට බැරි හැඩයි


නරියා : චාඃ... කැලේ තියෙන හොඳ ම මල් දැකල තියෙනව. නමුත් ඒව සේරම පරදිනව මැගෙ ලස්සනට. කට හඬේ ලස්සන. කැලේ ඉන්න මොනම කුරුල්ලෙකුටවත් බෑ ඔය තරම් ලස්සනට නාද කරන්න. අනේ... හරියට උදේ ඉර එළියට දිලිසෙන පිනි පොදක් වගේ ලස්සන... මොනවට ද ඉතින් මනුස්ස ආත්මයක් නැති කොට (ශබ්දයක් ඇසෙයි). ආ... අන්න ඇගෙ අම්ම ද කොහෙද එනව.


(ගම මහගෙ හනසු මිටියක් රැගෙන පැමිණ ගම දුව සොයයි. ඈ එවිට ඈත මල් කඩමින් සිටියි.)



ගම මහගෙ : දුවේ... දුවේ... උඹ කොහෙදෝ?
ගම දුව : මං මෙහේ... මේ ඇහැළ මල් කඩනෝ...
ගම මහගෙ : හනේ, හනේ, කෝ දර කැඩුව ද...බලාපල්ලකො මේකිගෙ සුරල්. එක දර කෑල්ලක් කඩල නෑනෙ. මොනව ද තෝ මෙච්චර වෙලා කළේ... තොටනං මිනිහෙක් එක්ක දීගකන්න යන්න හම්බ වෙන්නෙ නෑ. තෝ ව නම් මනුස්සයෙක් ගෙනියන්නෙ නෑ. තෝ ව හොඳ නරියෙකුට... තෝ ව නම් දැන් දැනගං දීගදෙන්නෙ නරියෙකුට. ඒක හොඳට මතක තියාගං. ඒකෙ ආයෙ වචන දෙකක් නෑ.

තෝ ව දෙන්නෙත් නරියටයි
තෝ ව ගන්නෙත් නරියෙකුයි
තෝ ව දෙන්නෙත්
තෝ ව ගන්නෙත්
කැලේ ඉන්නා නරියෙකුයි


(ගම මහගෙ සහ ගම දුව පිට වේ. ඔවුන් පිටවූ විගස නරියා පඳුර තුළින් එළියට පැන ප්‍රීතියෙන් නටයි.)


නරියා : මහ බඹා..කියන එක්කෙනා තෝර ගන්න බැරි කෙනෙක්. හිතාපු නැති විදියටනෙ ඉහේ කොටන්නෙ. දැන් බලමු මං බලාපොරොත්තු වෙච්ච දෙයක් ද මේ සිද්ද උනේ. ආත්ම ගණනාවකදීවත් ලැබ ගන්න පුළුවන් එකක්ද... මසුරන් කෝටියක් දීලවත් කියවගන්න පුළුවන් දෙයක් ද, නරියෙකුට දුව දෙනව කියල අම්මගෙ කටින් ම කියව ගන්න.
(දණින් වැටී) අනේ මහ බඹා, තමුන්නාන්සෙ දුප්පත් අසරණ අපේ හිතසුව පිණිස චිරාත් කාලයක් ජීවත් වෙන්න ඕනෑ.


තමුන්නාන්සෙ මෙහෙම, දුප්පත් පෝසත් ජාතියක් ජම්මයක් ගැන සලකන්නෙ නැති ව සුදුසුකම් අනුව ම පිරිසිදු විදියට මෙහෙම රාජකාරිය කරන එක අනික් අයට කොයිතරම් ආදර්ශයක් ද, (නැගිට) දැන් ඉතින් මේ කතාව කවුරුවත් අපේ අය අහගෙන හිටියෙ නෑ. මම විතරයි දන්නෙ. මට තමයි ගම දුව අයිති. ඒක හින්ද බය වෙන්න දෙයක් නෑ. මේ ගම්මානවල්වල මිනිස්සුන්ගෙ වචන දෙකක් නෑ. කිව්වොත් කිව්ව ම යි. ආව්... තව ටික දවසකින් මේ නරි නයිදෙ මනුස්ස දුවක් කසාද බැඳගෙන කැලේ කුමාරය වෙනව.


නරි නයිදෙගෙ කාලෙ හොඳයි
නර අඟනක් දීග ලැබෙයි
කැන්දාගෙන එන විට දෑවැද්ද සමගිනා
රුක් අත්තන මල් පිපේවි බැද්ද සැම තැනා
සත්තයි බැද්ද සැම තැනා.


(නරියා ගී ගයමින් කැලය පුරා නටා යයි.)

(c) Shilpa Sayura Foundation 2006-2017