හෙනකඳ බිසෝ බණ්‌ඩාර
 

මහනුවර සිට ගම්පොළට යන මහමාවතට නුදුරුව 11-12 යන සැතපුම් කණු අතර බෝතලාපිටිය නමින් ගමක්‌ වෙයි. එගම ගංගාතිලක නමින් පැරණි විහාරස්‌ථානයක්‌ ඇත. දෙවැනි රාජසිංහ රජුගේ නියමය පරිදි යටකී විහාරස්‌ථානය අසල වූ පෝරුතොට නමින් ප්‍රසිද්ධ මහවැලි ගඟේ තොටුපළට අවුරුදු පතා එකතුවීම සිරිතකි.

විශේෂයෙන්ම ලංකාතිලකය, ගඩලාදෙණිය, ඇම්බැක්‌ක, වල්වාසගොඩ, වේගිරිය යන ප්‍රසිද්ධ ස්‌ථානවලින් පෙරහැර පැමිණීම සිරිතය. මේකී පෝරුතොට මෙපමණ ජනාකීර්ණ තැනක්‌ වීමට හේතුව පෙරහැරවල් පැමිණ දියකැපීම සිදුකිරීම නිසා ම නොවේ.

මහනුවර රජකම් කළ දෙවැනි රාජසිංහ රජුට හෙනකඳ බිසෝ බණ්‌ඩාර නමින් සහෝදරියක්‌ විසුවාය. ඈ ස්‌ත්‍රීයක්‌ වූයේ වී නමුත් උත්පත්තියෙන්ම ඕ නියම ස්‌ත්‍රීයක්‌ අංගලක්‌ෂණ නැති නපුංසක කාන්තාවක්‌ වූවාය. එක්‌ වතාවක්‌ ඕ තොමෝ කොත්මලේ පුසුල්පිටියේ විහාරය වැදීමට ගියාය. එහිදී කුමාරිකාව හදිසි ආබාධයක්‌ වැළඳී මළාය. ඇගේ මෘත දේහය කොත්මලේ වැසියන් විසින් කහටලීයෙන් කළ පෙට්‌ටියක නොහොත් දෙනක බහා ගඟේ පා කොට එවන ලද්දේය.

පෝරුතොට තොටියන්ට මේ දෙන අසුවී ගොඩට ගෙනැත් කහට පිටිය හෙවත් බෝතලාපිටිය යන ගමේදී ආදාහන උත්සවය සිදු කළෝය. ගංගාතිලක විහාරය පිහිටියේ එතැනය. පොරුතොට නමැති තොටුපොළ පිහිටියේද ඒ ළඟය. ඒ ගමට කහටපිටිය යන නම ලැබුණේ ද එතැන් සිටය.

තවත් කතාවක්‌
ශී්‍ර වීරපරාක්‍රමබාහු රජුගේ කාලයේදී සතර කෝරළේ එක්‌තරා උයනක විශාල බෙලිගසක්‌ තිබුණේය. ඒ බෙලිගසේ අකල් බෙලිපලයක්‌ හටගත්තේය. උයන්පල්ලා ඒ බෙලිගෙඩිය ඉදී තිබෙනවා දැක කඩා ගෙනවුත් ශ්‍රී වීරපරාක්‍රමබාහු මහ රජුට ඔප්පුකර සිටියේය. බෙලිගෙඩියේ අස්‌වාභාවික ලක්‌ෂණ හා විශාලත්වය දුටු රජතුමා එය රාජසභාව ඉදිරිපිටදීම බිඳ බලන ලෙස ඇමැතිවරයකුට නියම කළේය.

ඔහු එය බින්දේය. ආශ්චර්යකි. එහි තුළ රන්වන් බිළිදු කුමරියක්‌ සිටියාය. රජතුමා සහ ඇමති ගණයාත් අතිශය ප්‍රීතියට හා විස්‌මයට පැමිණියහ. එතැන් සිට ඒ දරුවා මාලිගයේ කිරිමවුන් අත සැපෙන් වැඩුණේය. මෙසේ මහරජුගේ දියණියක ලෙස වැඩුණු කුමරිය වැඩිවියට පත්වූවාය.

රජතුමා ඈ සරණකරදීමට කැමැත්ත දැක්‌වූ නමුත් කුමරිය ඊට අකමැති වූවාය. ඈට ඕනෑ කළේ තවුස්‌ ජීවිතයක්‌ ගතකිරීමටය. කුමරියගේ ඉල්ලීම පරිදි රජතුමා ඈට මලයරට කොත්මලේ පල්ලේපොත කෝරළයේ මාවැලිගංතෙර රම්‍ය ඉඩමක අසපුවක්‌ තනා ඇගේ ජීවිකා වෘත්තීය සඳහා අවශ්‍ය සියල්ලත් දී පදිංචි කරවූයේය.

පත්තිනි දෙවොල
කුමාරිකාවගේ මාලිගය නොහොත් අසපුවට නුදුරු තැනෙක පත්තිනි කෝවිලක්‌ ද කරවා දේවාලයේ තේවාව සඳහා කපුරාළලා ද පත්කරන ලද්දේය. දැන් ඒ ගමට මැද්දේගොඩ යැයි කියති. මේ කියන හෙනකඳ බිසෝ බණ්‌ඩාර නම් උත්තමාව ගම්පොළ රජය කළ විකුම්බා රජුගේ අගමෙහෙසිය බව ඇම්බැක්‌කේ අලංකාරය නමැති කව් පොතක කියා ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017