සිංහල රජකාලයේ අගනුවරට වෙළඳාම සඳහා යන වානිජයන් ගෙන් කඩවතදී සුංගම් අයකිරීම පෙර සිට එන සිරිතකි. මෙබඳු සුංකම් අයකරන මුරපොළවල් මුළු රටේම පිහිටා තිබුණේ ය.
මේ ස්‌ථාන සුංගම් අයකිරීමට පමණක් නොව පිට සිට අගනුවරටත් අගනුවර සිට ඉන් පිට ප්‍රදේශවලටත් යන එන ජනයා ගැන සෝදිසි කරන මුරපොළවල් හැටියට ද යොදා තිබුණේය. කඩවත, හුංගම් පොළ, කයිකාවල යනාදි නම්වලින් හැදින්වෙන ගම් හා ස්‌ථාන රටේ නොයෙක් පළාත්වල තිබේ.
ඒ රාජකාරිය පැවැති කාලයේ මේ තැන්වල රජුගේ නියමය පරිදි ඒ ඒ පළාත් භාර නිලමෙලා, දිසාවෙලා, රටේ මහත්තුරු ආදී උසස් නිලධාරින් යටතේ සෙබළ මුලක් බැගින් නවත්වා තිබුණේය. මේ ස්‌ථාන පසුකර යන ගැල් කාරයෝ, තවලම් කාරයෝ, මඩිගෙලා සහ අතින් හිසින් කරින් බඩුගෙන යන කවුරුත් ඒ ඒ වෙළඳ ද්‍රව්‍යවලට නියමිත සුංගම මුදලෙන් ම ගෙවා යාම නියමයකි. නැතහොත් මුරකරුවෝ ඔහුට කඩවත පැනයාමට ඉඩදෙන්නේ නැත. ඒ වගේම රාජද්‍රෝහියෝ, හොරු, අපරාධකාරයෝ, සිරකරුවෝ සහ සැඟවී පැන යන කවුරු නමුත් මේ තැන්වලදී අල්ලා සිරභාරයට ගැනීමද සිරිතය.
මහනුවර ප්‍රදේශයේ ගලසියපත්තුවේ බොක්‌කාවල නමින් ප්‍රසිද්ධ ගමේ ද පුරාණ කාලයේ හත්කොරළේ සිට මහනුවරට ගමනාගමනය කළ මග මෙයින් මුරපොළක් නොහොත් කඩ වතක් තිබුණේ ය. එක් දවසක් හිරියාල හත්පත්තුවේ සිට දුම්කොල වෙළෙන්දෙක් දුම්කොළ මිටියකුත් රැගෙන මහනුවරට යන පිණිස ආවේය.
මේ මුරපොළ ළඟ සිටි මුරකාරයෝ ඔහුගෙන් කඩවතට ගෙවිය යුතු විය. මෙබඳු වෙළඳ ද්‍රව්‍යවලින් අයකෙළේ තුට්‌ටුවකි. මේ මුරපොළ ළඟ සිටි මුරකාරයෝ රාජ නියමයට විරුද්ධ වැඩ කිරීමට අකමැති වූහ. මේ නිසා වෙළෙන්ඳාත් මුරකාරයිනූත් අතර බහින්බස් වී කලහයක් අටගත්තේය.
මුරකාරයෝ වෙළෙන්ඳාට ගුටිබැට දී දුම්කොළ මිටියද උදුරාගෙන එළවා දැම්මෝය.
එවිට වෙළෙන්ඳා කෝපයෙන් බැණ වදී " හොඳයි බලමුකෝ තවත් දුම්කොළ වෙළෙන්ඳෙක් ඒවී, එයාටත් උඹලා ගහලා සුංගම් අයකරන හැටි බලමුකො" යි වහසි කියමින් යන්නට ගියේය. මේ දුම්කොළ වෙළෙන්ඳා මන්තර කාරයෙකි. ඔහු කළුකම්බිලි දේවතාවා බන්ධනය කරගෙන සිටියේය.
හෙතෙම ගමට ගොස් කළුකම්බිලි දැහැන ජීවන්කර කළුම්බිලි යක්‌ෂයා පිල්ලියක් මෙන් එතනට යැවීමට සූදානම් කොට දින ගණනක් ම මන්ත්‍ර ජීවන් කර යක්‌ෂයා ගෙන්වා යැවුවේය. කළුකම්බිලියක් හිස සිට දෙපතුල දක්‌වා පොරවාගත් මිනිහෙක් දුම්කොළ මිටියක් හිස තබාගෙන කඩවතට ආවේය.
අර මුරකාරයෝ ඒ මිනිහාගෙන්ද සුංගම් ඉල්ලා සිටියෝය. නමුත් ඒ මිනිහා කිසි කතාවක් නැතිව කඩවත පැනයන්නට ගියේය. එවිට මුරකාරයෝ ඔහු අල්ලා සුංගම් ඉල්ලා තර්ජනය කළහ. යක්‌ෂයා හැරී බලා දුම්කොල මිටියෙන් මුරකාරයන්ට එලව එලවා තැළුවේය. මුරකාරයෝ සිහි නැතිවී තැන තැන මළාක්‌මෙන් විසඥව වැටී සිටියහ.
ඊට පසු එතැනින් යන එන්නන්ට කළුකම්බිලි අවතාරය පෙනෙන්නට විය. අවේලාවට කිසිම කෙනෙක් එම කඩවතෙන් යාමට බිය වූහ. ගම්වැස්‌සෝ එතනින් උවමනාවකට ගියේ කීප දෙනෙක් එකතුව රංචු ගැසීය. එතැන් සිට මුරකාවල ද නැති විය. කාවල බිඳී ගිය නිසා ඒ ස්‌ථානයට පසුකලකදී බොක්‌කාවල යයි කියන්නට විය.
කළුකම්බිලි දේවතාවාගේ අවතාරය රෑට මේ ප්‍රදේශයේ බොහෝ කාලයක් ගතවන තුරු දක්‌නට ලැබුණු බව ඒ අවට ගම්වල මිනිස්‌සුන්ගේ ජනප්‍රවාදයන් හි පැවැත එයි.
