සංවිධායකවරු හා ගිවිසුම්
 

නාට්‍යය සංවිධායකවරයෙකු විසින් සංවිධාන කටයුතු බාරගෙන කිරීමේදී මූලික වශයෙන් ගිවිසුමක් තිබීම අවශ්‍යය. මන්ද, බොහෝ විට සංවිධායකවරු දර්ශනය පාඩුවීම හා අතර මගදී පැවයාම, ගෙවීම් හරියාකාරව සිදු නොකිරීම් ආදි කරුණු හෙතුවෙන් මඟ හැර යෑම් සිදුවිය හැකි බැවිනි. එවැනි අවස්ථාවක දී ගිවිසුමකින් විශාල දෙයක් සිදු නොවූවත්, නීතිමය ක්‍රියා මාර්ගයකට අඩිතාලමක් විය හැකිය. එසේ නොවූවත්, නාට්‍ය සඳහා අවශ්‍ය පහසුකම් (විශේෂයෙන් කෑම බීම) ආදිය නොලැබීම සිදුවිය හැකිය. යම් සංවිධායක වරයෙකු දර්ශනය ඉල්ලා සිටින විට එය සැපයිය යුතු වන්නේ,

ශිල්පි ප්‍රමාණය
නාට්‍යයේ මිල
ප්‍රවාහන පහසුකම් සඳහා වැය
කෑම බීම අවශ්‍ය ප්‍රමාණය
සහ අනෙකුත් පොදු පහසුකම්

ඉන් අනතුරුව අවශ්‍ය වන්නේ සංවිධායකයෙකු දර්ශනයක සංවිධානය කරයි නම් ගෙවීම් ළ යුතු ආකාරය ද (නිදසුනක් ලෙස - දර්ශනය වෙන්කිරීමේදී මිලෙන් 1/4ක් ද ඉතිරිය දර්ශනය දිනයේ හෝ අධ්‍යක්ෂ විසින් තීරණය කර ඇති ක්‍රමයක ගත හැක.) දර්ශන වේලාවන් ද ආදි කාරණා ඇතුළත් කොට විස්තර පත්‍රිකාවක් (ගිවිසුමක් ලෙසද) සැකසීම කළ යුතුය. එසේම දර්ශනයේ ප්‍රචාරක කටයුතු වලට අවශ්‍ය ඡායාරූප, නාට්‍යයේ නමේ චිත්‍රයක් (Art work) නාට්‍යයේ විස්තර පත්‍රිකාවක්, ආදි නාට්‍ය පිළිබඳ තොරතුරු කට්ටලයක් දීම අවශ්‍යයයි.

අවසන් සටහන

මෙහි ලියා ඇති බොහෝ කරුණු ලාංකීය වේදිකාව තුළ කළ හැකි හා කලහැකි යයි සිතන ගොනු කිරීම්ය. එම නිසා මෙහි වේදිකා කළමනාකරු ලෙස හැඳින්වෙන පුද්ගලයා ඉතා විශාල කාර්යභාරයක් කරනා සේම ඉතා සුවිශේෂ දක්ෂතා ඇත්තෙක් විය යුතුය. කෙසේ නමුත් හොඳ වේදිකා කළමනාකරුවන් කිහිප දෙනෙකු හෝ ලාංකීය වේදිකාවට ගොඩ විය යුතුය.

මෙහි යම් යම් කරුණු දක්වා ඇත්තේ ලුහුඩින්ය. මන්ද, මෙහි අරමුණ වේදිකා කළමනාකරණය පිළිබඳ සංක්ෂිප්ත සටහනක් තැබීමය.

(c) Shilpa Sayura Foundation 2006-2017