ගම්පොල රාජධානිය කරගෙන විසූ විජයපරාක්‍රමබාහු (විජයබාහු) කාලයේ මාඉම්ගමුරට වලව්වක රූමත් තරුණ කාන්තාවන් දෙදෙනෙක් විසූහ. ඒ තරුණ මැණිකෙලා දෙන්නා රාජවාසලට යකඩ දෝලිකර යැවීමට පියා කැමැත්තක් දැක්‌වූයේ නැත. නමුත් මවුපස නෑයෝ ඊට එකහෙලා අසතුටු වූහ.
ඒ කාලයේ මහවාසලට අනියම් නෑකමක් වත් ඇතිකර ගනීම මහා බලයක් වාසනාවක් කොට බොහෝ දෙනා කල්පනා කලහ. මේ කුමාරිහාමිලා දෙන්නට දරුවන් හතර දෙනෙක් ලැබුණාහ. වැඩිමලා පිරිමියෙකි. ඔහු වැඩිවියට පත් වූ කල රාහුල නමින් මහණ කරවා ගංගාතිලක විහාරයේ වැඩ සිටීමට සැලැස්‌සුවේය.
රජවරුන්ගේ අප්‍රධාන කුමාරවරුන්ට රජකම ගැන හිමිකමක් නැති නිසා බොහෝවිට මහණ කිරීම සිරිතකි. අනික් දූ වරුන් තිදෙනාගෙන් එක් කෙනෙකුගේ නම රතිපතාමි ය. එක් කෙනෙක් පති පතාමිය. බාල කුමරිය ඩිංගිරි මැණිකාය. පතිපතාමි කුමරිය දරුවන් නොලබාම කළුරිය කලාය.
දන්තුරේ බණ්‌ඩාර රජවාසලින් කුමරියක් විවහාකර ගැනීම නිසා අහංකාර පරවසව වෙනත් වලව්වලට අයිතිය පැවති ප්‍රවේණි, නින්දගම්, රජවාසලට ගබඩාගම් වශයෙන් ලබාදීමට තැත් කෙළේය.
මේ නිසා බණ්‌ඩාරවලියේ පරම්පරා කීපයක උදවිය අතරේ අමනාපකම් හට ගැනුනේය. තමා සමඟ උසස් පවුල්වල අය අප්‍රසන්නවූ බව දැනගත් දන්තුරේ බණ්‌ඩාර රජතුමා සතුටු කරවා ගැනීමට සිතා ගැමියන්ගේ සාරවත් කුඹුරු හා ගම්බිම් ගබඩාගම් හැටියට රජවාසලට පවරා දීමට උගුල් ඇද්දේය.
පරණකුරු කෝරළේ තුන්පලාත පත්තුවට අයත් කෙහෙල් පන්නල නම් සාරවත් ගමක් තිබුණේය. ඒ ගමේ පල ප්‍රයෝජනය ලබන ජන්ම පරවේණි කාරයන් සමඟ ආඝාත බැඳගත් දන්තුරේ බණ්‌ඩාර පරවෙණි කාරයන්ගෙන් ගම ලබාගැනීමේ අදහස අත්හැරියේ නැත.
පෙර දඹදිව සිට පැමිණි බමුණන් තිදෙනෙක් මේ ගමේ අතුපැල් සාදවාගෙන වල් කෙහෙල් අතුවලින් වහල සෙවෙණිකර තිබු නිසා මේ ගමට කෙහෙල් පන්නල යන නම ව්‍යවහාර වූ බව කියති.
මේ කාලයේ මහවාසල ප්‍රධාන ගණිතාචාරියා ලෙස පත්වී සිටියේ කෙහෙල් පන්නල ගමේ වැසියෙකු වූ දනසේකර මුදලියා ය. ගම්වැසියෝ ගොවිතැනෙහි මෙන්ම හස්‌ත කර්මාන්තයෙහිද දක්‍ෂයෝ වූහ. එක් වතාවක් නිලමේවරු රජතුමා කැටුව ගම් නියම්ගම් නැරඹීම සඳහා අම්බුළුවා වැව පෙදෙසට ගියෝය.
අම්බුළුවා වැව ඉස්‌මත්තේ හෙළ නැග ඈත පෙදෙස බලන්නෙකුගේ දර්ශණ පථයට ලක්‌වන්නේ කෙහෙල් පන්නල සිරියාවය. එහි කුඹුරු යායේ දර්ශනය අතිශයින් සිත්කලුය. දන්තුරේ බණ්‌ඩාරගේ හා ඔහුගේ හිතවත් නිලමේලාගේ අදහස වූයේ මේ කුඹුරුයාය සහ ගමත් රජුට පෙන්වා ගම ගබඩාගමක් කිරීමට කැමතිකරවා ගැනීම ය.
රාජසභාවේ කෙරෙන රහස් මන්ත්‍රණවලින් පසු නිලමෙලා හා ඇමතිවරු කරන්නට යන දේ වලින් ගම්වැසියනට විපතක් හෝ පාඩුවක් වන්නට ඉඩ ඇති බවක් පෙනී ගියහොත් කුමන උපායක් හෝ යොදා ඊට බාධා කිරීමට සමතෙක් රජවාසල සිටියේය. ඒ දනසේකර ගණිතාචාරියාය.
කෙහෙල් පන්නල ගබඩාගමක් කිරීමට සූදානම් බව දත් දනසේකර මුදලියා ඒ බව රහසේ ගම්මුන්ට දන්වා යැවුවේය. රජු ගමට සැපත් වන දිනය ද හේ දැන්වීය. මේ පුවත ඇසූ ඒ ගම්වැසියෝ අසල ගම්වැසියන්ද සහය කරගෙන ගම නොමග කෙළේය. ඈත සිට බලන්නෙකුට ඒ පෙදෙස පෙනෙන්නේ තැන තැන ගස් හා පඳුරු ඇති ගොඩබිමක් ලෙසිනි.
මේ ආකාරයෙන් ගමෙහි සිරියාව මකා සරුසාරවත් බව නොපෙනී යන ලෙස කටයුතු කලහ. පසුදින රජතුමා කෙහෙල් පන්නලට ළඟාවූ විට නිලමේවරු එම ගමෙහි සාරවත් කමත් ශෝභමාන කමත් පෙන්වනු පිණිස අම්බුළුගල කන්දට කැඳවා ගියේය.
කන්ද නැඟුනු රජතුමා මහත් ඕනෑකමින් කෙහෙල් පන්නල පෙදෙස බැලූවද කිසිදූ ශෝභමාන කමක් හෝ සාරවත් බවක් නොදුටුවෙන් නිලමේවරුන් මුහුණ පෑවේ මහත් අකරතැබ්බකටය. කන්ද පහල අනික් ගම්වලට වඩා අමුත්තක් මේ ගමේ නොපෙනෙන බව කී රජතුමා ආපසු යන්නට ගියේය.
මින්පසු වතාවකදී කෙහෙල් පන්නල ගම්වැසියෙකුගේ ඉඩමක විශාල ආනවාලු කැනක් පැසී තිබෙනු දුටු නිලමේ කෙනෙක් එය මහවාසලට යැවීමට සැලැස්‌වූයේය. කැන කප්පවා ගත් නිලමේ උණගසක් ගෙන්වා කැන දෙකොන උණගහේ බැඳ එල්ලා මිනිසුන්
හත්දෙනෙකු ලවා රජ ගෙදරට ගෙනියන්නට සැලැස්‌සීය.
එක් ගම්වැසියෙක් ඔවුන්ට කලින් රජ වාසලට පැමිණ රජුට වැඳවැටී මහවාසල දෙවිහාමුදුරුන්ට වන අවමානයක් නිසා ඒ ගැන දැනුම් දීමත් ඒ දෝෂයෙන් තම ගමේ මිනිසුන් රැක ගැනීමටත් මෙසේ ආ බව කී ගැමියා 'අපේ ගමේ කොලු පැංචෝ රැළක් පැරණි වැසිකිලි වලක සිටවූ කෙසෙල් ගහක වැටුණු කැනක් කාගේදෝ කීම පිට මහවාසලට ගෙනා බව' දැන්නුවේය.
මේ ඇසූ රජතුමා කෙසෙල් කැන ඉදිරියට ගෙන්නුවේය. මිනිස්‌සු දෙතුන් දෙනෙක් එය උසුලාගෙන ඇවිත් රජු ඉදිරියේ තැබීය. මේ කෙසෙල් කැන හත්දෙනෙකු ලවා ඔසවාගෙන ආවේ වී නමුත් දෙතුන් දෙනෙකුට වුවද එය ගෙනෙන්නට හැකි බව කී ගැමියා ගමේ සරුසාර කම ඇඟවීමට මෙලෙස කරන ලද බවත් ඒ ගම ගබඩාගමක් කලහොත් එහි පදිංචි ප්‍රධාන පවුල්වල මිනිස්‌සු ගම අතැර යන බවත් ඒ ගැමියා පැවසුවේය.
ගැමියාගේ කතාවට සවන්දුන් රජතුමා කෙසෙල් කැන ගමට ගිහින් දමන ලෙස නියෝග කර ඉරහඳ පවත්නා තුරු කෙහෙල් පන්නල ගබඩාගමක් නොකරන ලෙස නියම කෙළේය.
