නිෂ්පාදන කළමනාකරු සහ ප්‍රචාරක සැලසුම් ශිල්පි
 

                                              නිෂ්පාදන කළමනාකරු


නිෂ්පාදන කළමනාකරු යනු, නාට්‍යයේ මූල්‍ය අංශ පිළිබඳව වගකීම් දරන්නාය. අර්ථපතිවරයාගේ හෝ මුදල් වියදම් කරන්නාගේ කළමනාකරණ කටයුතු කිරීම හා නාට්‍ය හා අර්ථපති අතර සම්බන්ධීකාරකවරයා ද වෙයි.


නාට්‍යයේ මූල්‍ය කළමනාකරණය මොහුගෙන් සිදුවෙයි. නාට්‍ය පුහුණුවලදී අවශ්‍ය කරන ආහාරපාන,අනෙකුත් අවශ්‍යතාවන්, පසුතල නිර්මාණය සඳහා වූ කාර්යන් සඳහා වැයවන්නා වූ මුදල් හා කාර්යන් මොහු අතින් සිදුවේ. (මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් නොකෙරෙන්නේ වේදිකා කළමනාකරු හා සමාන සැලසුම් කරණයක් මෙහිද ඇති නිසා එයද පුළුල් වූ කළමනාකරණ කාර්යයකි.)


ප්‍රචාරක සැලසුම් ශිල්පි


මොහු සැලසුම්පතේ අවසන් ශිල්පියෙකි. ප්‍රචාරක කටයුතු යන්න ඉතා පුළුල්ව කතාකා කලයුතු මාධ්‍යයකි. මෙම ශිල්පි ප්‍රචාරණ ආයතනයක කෙනෙකු විය හැකිය. නොඑසේනම් නිදහස් සැලසුම් ශිල්පියෙක් විය හැකිය. කෙසේ නමුත් නාට්‍යයට සම්බන්ධ සියලු ප්‍රචාරක කාර්යන් මොහු අතින් සිදුවෙයි.


මොහුට පැවරෙන මුල්ම කාර්ය නම් නිෂ්පාදක හමු වී සාකච්ඡා කල පසු නාට්‍යයේ නම නිර්මාණය කිරීමයි. නාට්‍යයේ නමේ අකුරුවල හැඩයෙන් පවා නාට්‍යයේ බොහෝ දේවල් කිව හැක. ජනතාව අතරට නාට්‍ය පිළිබඳ මුලින් දෙන පූර්ව ප්‍රචාරය නම ය. නම යොදාගත් පසුව නාමය සැලසුම් කිරීම (ඇඳීම) සිදුවේ. ඉන් අනතුරුව ප්‍රචාරක සැලසුම් කරුට ප්‍රවේශ පත්‍රය සැලසුම් කිරීමට ලැබේ. ඉන්පසු නාට්‍ය පිළිබඳ අත්පත්‍රිකා බෙදාහරියි නම් එයද, ඊට පසු නාට්‍යයේ පූර්ණ අදහස දෙන පෝස්ටරය නිර්මාණය කිරීම ඇරඹෙයි. ඉන් අනතුරුව සමරු කළඹක් නිෂ්පාදනයෙන් කරයි නම් එයද සැකසීම මොහුගෙන් සිදුවෙයි. ආරාධනා පත්‍ර සැකසීමද තවත් කාර්යයකි.


තවද නාට්‍යයේ ප්‍රචාරක කටයුතු වලදී නාට්‍ය පිළිබඳ පිටපත් රචනය මොහුගේ කාර්යකි. (මේ සියලු කාර්යන් නිෂ්පාදක අභිමතය පරිදි විය යුතු සේම අධ්‍යක්ෂක/නිෂ්පාදක කළ යුතු කාර්යන් නොවේ)


මේ සියලු කටයුතු වලින් අනතුරුව (එක් එක් කාර්යන් අවසානයේ) එය මුද්‍රණාලය වෙත යැවීම සිදු කෙරේ. මුද්‍රණාලයට යැවීමේ දී නාට්‍ය නිෂ්පාදනයට ප්‍රචාරණය සඳහා වර්ණ තෝරා ඇත්නම් (විශේෂයෙන් නමේ අකුරුවලට යෙදෙන වර්ණය) ඒවායේ වර්ණ සාම්පල ද යැවීම සිදුවෙයි.


ප්‍රවේශ පත්‍ර නිෂ්පාදන කළමනාකරු අතට ද පත් කිරීම මෙහි නියම ක්‍රමයයි. සමරු කළඹේ ද දැන්වීම් ඇත්නම් ඒවායේ මුදල් ලබාගැනීම සඳහා නිෂ්පාදන කළමනාකරු අත වගකීමක් වෙයි.


ප්‍රචාරක සැලසුම් ශිල්පියාට පැවරෙන තවත් විශාල වගකීමක් නම් මාධ්‍ය හමුව සඳහා අවශ්‍ය මාධ්‍ය කට්ටල (Press Kit)සැකසීමයි. මාධ්‍ය හමුව සඳහා ආරාධනයෙන් එනු ලබන මාධ්‍යවේදීන් සඳහා නාට්‍යයේ සාරාංශය, ශිල්පි විස්තර, නාට්‍යයේ ඉතිහාසය, අධ්‍යක්ෂක පිළිබඳ පූර්විකාවක් හා නාට්‍ය සුවිශේෂතා ඇත්නම් ඒවා ද නාට්‍යයේ ඡායාරූප ආදිය (ඡායාරූප ශිල්පි සොයාගැනීම කළමනාකරු අතින් සිදුවෙයි) මාධ්‍ය කට්ටලයට එකතුකොට ලබා දීම මොහු සතුවෙයි.


එසේ පුවත්පත් දැන්වීම් සැකසීම, ගුවන්විදුලි, රූපවාහිනී දැන්වීම් පලකරයි නම් ඒ සඳහා වූ පිටපත් සැකසීම, ආදි ක්‍රියාකරිත්වය මෙහෙයවීම සිදු වෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017