සකල කලා වල්ලභ රජුගේ නැඟනිවරු හත් දෙනෙක් ඔහු ළඟ විසූහ. සහෝදරයා ඔවුන්ට විපතක් කරන්නට යන බව දත් කුමරියෝ රජගෙදරින් පැන ගියෝය. රජු ඒ හත්දෙනා අල්ලවා මුල්ලේරියා වැවේ බැම්මට තබා සිටුවා පස් ගැස්‌සුවේය.
මේ ලෙස නැඟනිවරුන්ගෙන් පලිගැනීමට හේතු වූයේ අටවැනි වීරපරාක්‍රමබාහු කෝට්‌ටේ රජකරන කාලයේ ඔහුගේ පුතෙකු වූ සිරිවල්ලභ හෙවත් සකල කලා වල්ලභ නමැති කුමාරයා කලක් කැළණි ප්‍රදේශයේ වාසය කළ කාලයේදී ය. පසු කාලයකදී ඔහු උඩුගම්පොල මාළිඟාවක් තනවා ඒ පෙදෙස පාලනය කරගෙන උන්නේය.
මේ අතර තුළ ඔහුගේ නැඟනිවරුන් හත්දෙනෙක් ද ඔහූ වෙත නැවතී සිටියහ. මේ කුමාරියෝ හත්දෙනා සිය බැයාගේ කිසියම් අකටයුත්තක් නිසා කලකිරී රජවාසලින් සැඟවී පලාගොස් පුටුපාගල අසල වන ළැහැබක රහසිගතව වාසය කලහ. (එදා ඒ කුමරියන් සැඟවී සිටි පෙදෙසට ඒ නිමිති කරගෙන 'හොරවල' යයි ද ව්‍යවහාර කරන්නට විය).
සහෝදරියන්ගේ පලායෑම දැනගත් වල්ලභ රජු ඔවුන් කෙරෙහි අතිශයින් උදහස්‌ව ඔවුන් අල්ලා ගෙනෙන මෙන් අණ කෙළේය. කුමරියන් සොයනු පිණිස විපරම් කල රාජ පුරුෂන්ට ලැබුණු ඔත්තුවක් අනුව එක්‌තරා වන පෙදෙසක සැඟව ආහාර ගනිමින් සිටි
කුමරියන් හමුවූහ. රාජ පුරුෂයන් දුටු ඔවුහු අත තිබූ මණ්‌ඩා (ගොටු) ඒ ළඟ තිබුණු පොකුණට වීසිකොට පලායන්නට සූදානම් වූහ. (එතැන් සිට මණ්‌ඩා දැමූ ඒ පොකුණට මණ්‌ඩාවල යයි ද ව්‍යවහාර විය). රාජදූතයෝ කුමරියන් අල්ලා රජහට භාර කළෝය.
වල්ලභ රජ තමාගෙන් සැඟවී ගිය වරදට ඳඩුවම් වශයෙන් අල්ලා හත්දෙනාම මුල්ලේරියාවේ වැව් බැම්මට තබා සිටුවා පස් ගැස්‌සුවේය. නැඟනියන් හත්දෙනා මරාදැමීම සඳහා පිටුවහල් වූ මිනිසුන්ට රජුගෙන් වෙල්යායක් දිවෙල් පිණිස ලැබුණු බවද කියති.
ඒ වෙල්යායට 'පදවිවෙල' හෙවත් 'පද්දාවෙල' යයි කියති. මේ සිද්ධිය නිසාම තවත් තැන් කීපයකට 'කුමරි මුල්ල' 'හත්පෙරුම' 'රජවාන' යන නම් ජන වහරෙහි එන බවද පැරැන්නෝ කියති.
