කුම්කුමාවේ හාමුදුරුවෝ
 

දෙවෙනි රාජසිංහ රජු මහනුවර රජකරන කාලයෙහි කුම්කුමාවේ හාමුදුරුවෝ යයි ප්‍රසිද්ධ කවටකමෙහි ප්‍රිය හාමුදුරුනමක්‌ වැඩ සිටියේය. කතා කරන විට ටිකක්‌ මුක්‌කන් ගතියක්‌ තිබුන නිසා උන්වහන්සේගේ කතා වැඩියක්‌ම රසික විය. නමුත් මුන්වහන්සේ ධර්ම විනයධර බහුශ්‍රැතයෙකි. කීමෙහි බිණීමෙහි ව්‍යක්‌තයෙකි. මධුර ධර්මකථා ඇත්තෙකි. ස්‌ථානෝචිත හාස්‍යජනක කියුම් ගෙන හැර පෑමෙහි සුරුබුහුටි කෙනෙකි.

ඒ හැමටම වඩා උන්වහන්සේ අහිංසක කවටකමට පමණක්‌ නොව ඇස්‌ රතුකරන විලියෙන් මුකුලිත කරවන කවට කියුම් ගැනද රටේ ප්‍රසිද්ධියක්‌ දැරුවේය. රාජසිංහ රජතුමා පෙර සිරිතට අනුව මසකට සතර වරක්‌ එනම් පෝය හතරට මහසඟන මහවාසලට වඩම්මවා මහදනක්‌ දීමේ සිරිත නොකඩවා පැවැත්තුවේය.

රජගෙදර දානයෙන් අසුවල් දේ අඩුය, අසුවල් දේ නැතය යන කීමක්‌ නොඅසන ලද විරූය. මහා ප්‍රාඥයෙකුවූ ද සැදැහැවතෙකුවූ ද අප මහරජතුමෝ ද කෙළිකවට කමෙහි ප්‍රිය කල කෙනෙක්‌ වූහ. මෙසේ සතර පෝයට මහවාසල දනට වැඩම වන මහසඟන අතර අර කුම්කුමාවේ හාමුදුරුවෝ ද වැඩම කරන සේක. ඇතැම් භික්‌ෂූන් වහන්සේ යම්යම් ආහාරපානවලට වැඩියෙන් ප්‍රිය කිරීමත් මානුෂික ස්‌වභාව ධර්මයක හේතුවෙන් ඇතිවන්නකි. ඒ වගේම භික්‍ෂුන් වහන්සේට විනය පිළිවෙතට අනුව අසුවල් දේ දෙන්නය අසුවල් දේ එපාය කියා පිළිකෙව් කිරීමට ද බැරිය. පාත්‍රයට බෙදන කවර අහරක්‌ නමුත් පිළිගෙන අභිමත දෙයක්‌ වැළදීමය සිරිත.

භික්‍ෂූන් වහන්සේට නිතර දන් දෙන වතාවත් කරන උවැසි උවැසියෝය උන්වහන්සේගේ රුචි අරුචිකම් හොද හැටි දන්නෝ. කුම්කුමාවේ හාමුදුරුවෝ දී කිරිවලට හා මුව මසටත් කැමතිය. ඒ බව දන් බෙදන දායකයෝ දනිත්. මහරජතුමෝ ද දනිති. එක්‌ දවසක්‌ රජතුමා දාන ශාලාවේ මහ සඟනට දන්දෙන අවස්‌ථාවේ එහි පසෙකට වී දාන සංවිධානය හොදහැටි සිදුවන්නේදැයි පිරික්‌සමින් සිටියේය. බත් හා එළවළු වැංජන වළඳා අවසානයෙහි කිරි හා පැණි පිළිගැන්වීමේ කාලය පැමිණියේය.

එක්‌ නිලමේ කෙනෙක්‌ දීකිරි මුට්‌ටියක්‌ ගෙන පිඟන්වලට පිළිවෙලින් බෙදාගන ගියේය. මේ අවස්‌ථාවේ කුම්කුමාවේ සමිඳුට පොඩි කවටකමක්‌ කිරීමට සිතූ රජතුමා නිලමෙට ඒ බව කලින් කීවේය. කුම්කුමාවේ හාමුදුරුවන්ට හැදි අගින් කිරි ස්‌වල්පයක්‌ බෙදන්නටත් අනික්‌ හාමුදුරුවන්ට යහමින් බෙදන්ටත් කියා රජතුමා ඒ නොදැක්‌කා මෙන් අහක බලාගෙන උන්නේය. නිලමේ කිරි බෙදාගෙන යනගමන් රජු කී පරිදි කුම්කුමාවේ හාමුදුරුවන්ට හැදි අගින් කිරි පොඩ්ඩක්‌ බෙදන්නට හැදුවේය.

බුලත්විට කන හුණු පොඩ්ඩක්‌ මෙන් කිරි පොඩ්ඩක්‌ බෙදන්නට හදනවාත් එක්‌කම හාමුදුරුවෝ අතින් පිඟාන වසා "ඔහොම ඩිංගක්‌ අත නවන්නටය" යි කියමින් බුලත් හෙප්පුවෙන් හුනු කිල්ලෝටය ගෙන කිරි බෙදීමට කිල්ලෝටය පෑවේය. එවිට නිලමේ
"හාමුදුරුවනේ මේ දී කිරි" යයි කීය. "ආ මම හිතුවා බුලත් විටට හුනු පොඩිත්තක්‌ දෙන්න හදනවයි කියා" සමිඳු පිළිතුරු දුන්නේය.

මේ සිද්ධිය නෙතඟින් බලා සිටි රජතුමා සිනාව තදකරගෙන "නිලමේ මොකද,කිරි නොවළඳන සාමින්වහන්සේලාට බෙදන්නෙපා අහලයි බෙදන්නේ" යි කාරනය නොදන්නාක්‌ මෙන් පැවසුවේය. එවිට නිලමේ මදක්‌ සිනා මුහුණින් යුක්‌තව උන්වහන්සේ කිරි බෙදන්නට කිල්ලෝටය ඇල්ලූ බව කීවේය. එවිට මහ රජතුමා "කුම්කුමාවේ උන්නාන්සේ දී කිරි වළඳනවා ඔය තැටිය පිරෙන්නම බෙදන්න ඕනෑ" යි පැවසුවේය.

තවත් දවසක්‌ දනට වැඩි කුම්කුමාවේ සමිඳුන්ට මුව මස්‌ නොවළඳන බව කියා මුව මස්‌ තබා කිසිම මසක්‌ මාළුවක්‌ නොබෙඳා හැරියේය. මහ රජුගේ නියමය පරිදි කලින් ගොස්‌ මඟ රැක සිටි නිලමේ කෙනකු රජගෙදර දන් වළඳා පන්සලට වඩින හාමුදුරුවන්ගේ ඉදිරියට හමුවන ලෙස ආවේය. ඔහු හාමුදුරුවන් දැක "මේ හාමුදුරුවෝ කොහේ වැඩලාද එන්නේ" යි ඇසීය.

ඊට පිළිතුරු දෙන හාමුදුරුවෝ "මන් අර රජ්ජුරුවන්ලයි ගෙදරට ගිහින් එනවා දානෙකට" යි අප්‍රසන්න ස්‌වරයෙන් කීය. "කොහොමද දානෙ හෙම හොදදැ" යි යළිත් නිලමේ ඇසුවේය. "දානෙ තමයි, ගිය ජාතියේදී දීලත් නැහැ මේ ජාතියේදී දෙන්නෙත් නැහැ" යි කියා යන්ට ගියේය.

තවත් එක දවසක රජමාලිගයේදී කුම්කුමාවේ හාමුදුරුවන්ට පෙරැත්ත කර කර දී කිරි, මුව මස්‌ ආදී උන්වහන්සේ ප්‍රිය කරන වර්ග වලින් ප්‍රණීත ලෙස දානය වළඳන්ට දුන්නේය. එදත් රජතුමා හාමුදුරුවෝ දන්වළඳා යන විට මගදි පෙරමඟට හමුවන ලෙස නිලමේ කෙනෙකුට උගන්වා පිටත් කෙළේය. එදා හොඳට දානය ලැබුණාදැ යි විචාළ නිලමේට උන්වහන්සේ මෙසේ උත්තර දුන්නේය.

"මම මේ මහවාසල දානෙට ගිහින් එන්නේ" යි මහත් ප්‍රීතියෙන් ප්‍රකාශ කෙළේය. "කොහොම ද දානෙ හෙම හොඳට ලැබුණාදැ" යි ඔහු යළිත් ප්‍රශ්න කෙළේය. "එහෙනම් මොකද අපේ මහරජතුමා ගිය ජාතියේත් දන්දීල තියෙනව ඒ වගේම මේ ජාතියෙත් හොඳට අඩුපාඩුවක්‌ නැතුව දෙනවා. වෙන කාටද ඔහොම දනක්‌ දෙන්න පුළුවන්" කියා මහත් තෘප්තිමත් භාවයෙන් උත්තර දී යන්නට ගියේය.

එක්‌ දවසක්‌ දානෙ ගෙදරක බිත්තර උයා තිබුණේය. නමුත් ඒ බිත්තර අනික්‌ භික්‍ෂූන් වහන්සේලා නොපිළිගත්හ. කුම්කුමාවේ හාමුදුරුවෝ වැඩසිටියේ අසුන් පෙළේ අගය. කිසි නමක්‌ පිළිනොගත් බිත්තර මාලුව බඳුන පිටින් ළඟ තබාගෙන උන්වහන්සේ
වැළඳුවේය.

(c) Shilpa Sayura Foundation 2006-2017