නිෂ්පාදනය ආරම්භය
 

නාට්‍යයක් නිෂ්පාදනය කිරීමට එක් එක් නිෂ්පාදකවරයා විසින් ගනු ලබන කාලය වෙනස් විය හැකිය. නමුත් නාට්‍යයක් නිෂ්පාදනය කිරීම සඳහා සති 10ක් පමණ ප්‍රමාණවත්ය. මක්නිසාද? යම් විටෙක කාලය දිග්ගැසීම සමඟ නාට්‍ය ඒකාකාරි බව (නිෂ්පාදනයේ) ඇති වුවහොත් නළු නිළියන් උදාසීන විය හැකිය. මෙහිදී ස්ථීර කාලයක් නියම කරගෙන සිටීමෙන් මෙවැනි ගැටළු ඇති නොවන අතර විශාල ප්‍රතිලාභයක් ද ලැබිය හැකි වෙයි.


සමහර තරුණ නිෂ්පාදකවරුන් බොහෝ විට නාට්‍ය නිෂ්පාදනය ආරම්භ කරන්නේ 'හෙමින් කරගෙන යමු' කියාය. එහෙත් මාස 7-8 ගෙවී ගියත් දර්ශන පෙන්වන දින හෝ නිශ්චිත නැති විට නළු නිළියන් එම නාට්‍යය පිළිබඳ උද්යෝගය අතහැර වෙන නාට්‍ය හා වෙන වෙන කාර්යයන් වලට යොමුවීම ස්වාභාවිකය. බොහෝ දුරට හොඳ සැලසුමක් සකසා ඇති විට නළු නිළියන් අවශ්‍ය පරිදි දැනුවත්ව සිටී. "අසවල් දවසේ පුහුණුවීම් තිබෙනවා. අසවල් දවසේ නාට්‍යය දර්ශනය පෙන්වනවා" වශයෙන්.

"පශ්චාත්තාප" නාට්‍ය නිෂ්පාදනය කරන විට ශිල්පීන් හමුවන්න එන්නත් කලින් පවා පුහුණුවීම් සැකසුම් කර තිබේ. ශිල්පි හමුවේදී ශිල්පීන් අතට එය දී අසවල් දින දර්ශනය පෙන්වීමට කටයුතු කර ඇත. එම නිෂ්පාදනය දින 35ක් වැනි කාලයක් තුළ දී කිරීමට ඔහු විසින් අපේක්ෂා කළ ලදින් අඛණ්ඩව පුහුණුවීම් පවත්වාගෙන ගොස් ඇත. එම නිෂ්පාදනයේදී නාට්‍යයේ පසුතල ද සෑහෙන වේලාසන සකසා, නාට්‍යය එලා ගැනීමේ සිට අදාළ වේදිකා ඉඩ ප්‍රමාණ තුළ වේදිකාවක නොවූවත් බිමක සකසා පුහුණු වීම් කර ඇත. එහිදී ඇතිවී තිබෙන වාසිය නම් නළුවාට පසුතලයේ කිරීමට ඇති විශාල කාර්යයන් කොටසක් ඉතා පහසුවෙන් පුහුණුවීමට හැකිවීමයි.

අනෙක් කරුණ නම් ඔවුහු එකම තැනක පුහුණුවීම් කටයුතු කළ නිසා වේලාසනම ඇවිත් ව්‍යායාම් ආදිය කිරීමෙන් පසු නාට්‍යය පුහුණුව කළ හැකි වීමයි. වෙසෙසින්, වැදගත් කරුණක් වශයෙන් මෙහිදී නිශ්චිත කාල ප්‍රමාණයකට අනුව පුහුණුවීම් කටයුතු කර තිබේ. ඒකාකාරි බවින් මිදීමට මෙසේ කළ බව මෙහි නිෂ්පාදකවරයාගේ අදහසයි.

එය ඉතා සාර්ථක වී ඇත. ශිල්පීන් නියමිත වේලාවට පැමිණ පිටත්ව ගොස් ඇත. එබැවින් ශිල්පීන්ට වෙනත් කාර්යන් වල නියැලීමට හැකි වී තිබේ. එයින් නිෂ්පාදකවරයාටත් නළු නිළියන් ඇතුළු අනෙකුත් ශිල්පීටන් විශාල සහනයක් ලැබී තිබෙන අතර, නිෂ්පාදනයේදී අනෙකුත් වැඩ පෙර හා පසු වේලාවන් වල යොදා ගැනීමට හැකිවී තිබේ.


සමහර නිෂ්පාදනවල පුහුණුවීම් යොදා ශිල්පීන් එනතුරු පැයක්-දෙකක් බලා සිටීමට සිදුවෙයි. ඉන් අනතුරුව පුහුණුවීම් කිරීමේදී නිෂ්පාදකවරයා සකසාගෙන එන විධාන ඔහුගේ සිතින් ගිලිහී ගොස් අසවලා පැමිණේවිද? යන්න හිතට එකතුවීම නිසා පුහුණුවීම් පවා අපතේ යා හැකිය. විශාල දින ප්‍රමාණයක්ද අපතේ යා හැකිය.

"හිතවත්කම්වලට ශිල්පීන් තෝරාගැනීමෙන් වළකින්න" යනුවෙන් සුගතපාල ද සිල්වා පවා එක් වරක පවසා ඇත. එහි යථාර්ථය නම් මානුෂික සම්බන්ධකම් නිසා ශිල්පීන්ට පැහැදිලි කිරීම් සිදුකළ විට හිතවත්කමත්, ශිල්පියාත් එකවර නැතිවූ අවස්ථා බොහෝ ඇති බවයි. එය එසේ නොවිය යුතුය.


නිෂ්පාදනයක් ආරම්භ කරන විට "මම නාට්‍යක් කරනවා. උදව් කරන්න එන්න" කියා කීම විශාල අනුවණ කමකි. උදව් නොකළ විට අමනාප විය නොහැක. එයින් සිදුවන හානිය කෙතරම්ද?


නමුත්, "මම නාට්‍යයක් කරනවා. ඔයාට මේ දේ කරන්න තියෙනවා. එනවාද?" යනුවෙන් දැනුම් දිය හැකිය. එවිට ඔහුට කතා කරන්නේ කාර්යයක් කිරීමට මිස උදව් කිරීමට නොවේ. (මෙහිදී ගෙවීම් සිදුකිරීම වෙනම කරුණකි. හැකියාවක් ඇත්නම් ගෙවීමද වෙනම කරුණකි.)

කෙසේ වෙතත් කලාවට ආදරය කරන්නෙකුට හා ඒ සඳහා නිතර වන්නෙකුට ස්ථීර වගකීමක් තිබේ. එනම් තමන්ම යම් වගකීම් කොටසක් කිරීමට ඇති බවත්, තමන් එය ඉටුකළ යුතු බවත්ය.

මේ සියලලටම අනතුරුව සැලසුම් පිළිබඳ කරවා ශිල්පීන් අතට පත්කළ හැකිය. තමන්ගේ කාර්යය නිමවන කාලය හා දිනය නිශ්චිත වීම ත‍ලින් කාර්යය සාර්ථක විය හැකිය. සැලසුම්වලට එකඟවිය නොහැකි අය සමඟ වැඩකිරීම නිසා සැලසුම් හා කාර්යය අසාර්ථක විය හැක. එම නිසා නිෂ්පාදකවරයා සෘජු තීරණ ගැනීම ඉතාම වැදගත් වෙයි.

"අනවශ්‍ය කිසි දෙයක් අනවශ්‍යයයි" සේම යොදාගන්නා සැලසුම නිවැරදි නම්, සැලසුම් නියමාකාරයෙන් ක්‍රියාකල හැකිනම් කිසිවෙකුගේ අමතර කාලයක් අවශ්‍ය වන්නේ නැත.

එසේම, නිෂ්පාදකවරයා ඉහත සැලසුම් නිවැරදිව කළමණාකරු වෙත පවරා කාර්යය බලා සිටියහොත්, ඔහුට කල යුතු දෙයක් නැතිවේ. (අමතර කාර්යයන්)

අප රටේ තවම ශිල්පීන් එන නොඑන බව දැනුම් දෙන්නේ නිෂ්පාදකවරයාට පමණී. නමුත් කළමණාකරු දක්ෂයකු නම් නිෂ්පාදක වරයා දන්නේ අද දින පැමිණෙන ශිල්පීන් පැමිණි විට පමණී. එය නිෂ්පාදකවරයකුට සහනයකි. එයින් බොහෝ ශිල්පීන්ට හා නිෂ්පාදක වරුන්ට පැටලීමක් නොමැතිව කාර්යයන් කරගෙන යා හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017