මිහිරි තෙපල තන්වැසි කවිකම් පුරුදු
ඉතිරි බැති පෙමැති පෙළ දහමෙහි මුනිඳු
නොහැරි පෝය අටසිල් රැකුම පිරිසිදු
සසරි උලකුඩය දේවි හට පසිඳු
දිත් රුපු කිරුළු මල් දම් සුවඳ මී වැස
තෙත් සිරි පා යුත් සුරිඳුනි තිලෝ ඇස
සිත් පිනවන ඇති ආසිරි නුවණ යස
පුත් රුවනක් සොඳ දුන මැනවි නිසි ලෙස
බිසොවට පළමු රත්නාවලි නම් සොඳුරු
සහතුට දෙවු හිමි දිවැසින් කුලුණු පිරු
මෙලකට ඉසුරු වී පැරකුම් රජ කුමරු
පළකොට කිමෙක ඔබ සොඳ තෙද බල මහරු
එසෙයින් දෑ සමන් මහනෙල් කුසුම් ගෙන
පුදමින් ඒ සුරවර සිරි සරණ වඳිමින
බුහුමන් කරන රජ දූ සඳුට මෙ කියන
දුනපින් සමඟ යස සිරි වඩි පුත් රුවන
මෙහසුන් සුරිඳු හට සැල කැර මෙසේයා
වඳිමින් බැතින් පැදකුණු කොට තොසේයා
දකිමින් බිසෝ දෙවියන් නො ව ලසේයා
කියමින් යදින් සකි සඳ මෙම ලෙසේයා
පැහැපත් පුන්සදෙව් කිරි සමුදුර පළට
සියගොත් බබළවන දෙව් රජ කුමර හට
නැවතත් එකලා ව අවසර ලැබුණු විට
මෙ පවත් කියව සැල කරනුව සුර රඳුට
මේ සියලුම අදහස කුලුණින් ගිහිණි
සේසිය පත සලසා උදය දිනමිණි
නැසිය ඉටු මිතුරු සමඟින් සැළලිහිණි
වාසිය පවතු සිතු ලෙස සැපතින් පැමිණි
පැරකුම් රජුට පන් තිස් වන නවම් මස
මනරම් කර බඳුතු මෙහසුන් නොවී ලස
අයැදුම් ලෙසට සිදු කර කිවිදු අදහස
දෙව්රම් මිතුරු දිනි ගබ බිසොවට සකස
සතිස් වන නවම් පුර අස්ලිය නැකත
පහස් ලැබ සුපුන් සඳ නුබතුරු පෙනෙත
සහස් කර කුලට වැඩ වන ලෙස සතත
වෙසෙස් රජ කුමර විලසින් දැකුම් පත
කඳවුරු කුල මැඳුරු මිණි පහනෙව් සුසැදි
නැණගුරු සබස සමය ද දැනුමෙන් වොරැදි
රජගුරු විජයබා පිරුවන් හිමි පැහැදි
මෙමිතුරු පදැති සැළලිහිණිය අස්න යෙදි
![](/sayura/images/logo2.png)