අනතුරු බලා අවසර අදහස විගස
යුහුසුලු නොවී සලකා පසු පළමු බස
පෙරදැරි කොට සුරිඳුට තියු වදන් ගොස
සැලකර ත ගිය කටයුතු සිටැ එකත්පස
තරසර සුනෙර තද තෙද දිමුතු දිවයුර
පුවතර ගැඹර සමුදුර කැලුම නිඅඹර
සොමිබර පවර නිසයුර නුවණ සුරගුර
සුරවර සැරද විබිසණ දෙව් කැලණි පුර
රජ කුල සුපුල් විලැ රජ හස වන් සරන
පෙරමල වියා වන් රුසිරින් මන නඳන
හැමකල විපුල සව් සැපතින් නො අඩු වන
තෙදබල විකුම් ගුණ මිණි බරණින් තෙවුන
ගරුතර නන්නුරුතුනයා නමැති මැති
සිහිකර නිතර මහපුද පඬුරු දී රුති
නොවිසර ඔබට දන්වන ලෙස කී සිතැති
සුරවර මඳක් කල් එ පවත් ඇසිය යුති
රිවි කුල ලමැණි ගොත් පිරිසිදු ගුවන් මැද
පැහැදුල සරාකල් පත් පහස කර බඳ
කිවිකැල ගලට මුතුහර වන් යස පබඳ
සිරි කල කුල නිවෙස් දිය පතළ තද තෙද
හළ දුසිරිත් දැන තෙවළා මුනිඳු බණ
කෙළ පත්සියල් අවිසිප් කව් නළු සිතණ
ඔළ මොළ රුපුන් පද මැඬ පැ උපා නැණ
කළ මුළු ලක්දිව එක සේසත් සෙවණ
සත නෙත දුන් රුසිරු රස අඳුන්වන
පත නරලොව පුරදර සිරි හඳුන්වන
විකුමෙන් මෙ දඹදිව නිරිඳුන් මුදුන්වන
අප පැරකුම් නිරිඳුට දූ ළඳුන්වන
සිරිසඳ වන් සව් සිරි දියුණුව රඳන
සිතුමිණ වන් යැදි යැදි හට දනින් දෙන
සරසවි වන් නුවණින් පහළ ව පෙනෙන
නවසඳ වන් ලෙව් වැසි අදරින් වඳන
යෙහෙළින් කෙරේ සකි සැප සමඟ සිත්මේ
කුලුණින් දැසිදසුන් වෙත වසින වත්මේ
රකිමින් පතිනිදම් යහපත් සිරිත්මේ
සිහිනෙන් නිපන් වන් දස පින් පැවැත්මේ