සිරිසර හිඟුල් විලැ සේ හස වැළව් ගන
සුරවර සලෙළ රත ලවනත දළ දුළන
මනහර සඳ වලා පෙළ කෙළවර පෙනෙන
පැහැසර ළසඳ යුවළෙක් ඇත්නම් එමෙන
කනා මිණි වළලු නැඟි රැස් මල් කැනැති
මනා දිගු ඇඟිලි නව තඹ ළපලු ඇති
දනා කැමැති දෙන පලඹත එ සුර පති
දිනා දිමුතු අතු සිරි සුර තුරු පැවැති
පානා සෙනෙහෙ සසිනිඳු මඳලස බැල්ම
ගානා නිමහමෙව් දෙවඟන නෙත් කැල්ම
නානා සුරිඳු පුළුලුර සිරි සඳ ඇල්ම
නූ නා කෙළන ගලතල වැනි ඉඳු නිල්ම
ලකළු පළුලුකුළු වට බිම එසුර විරූ
වෙරළු මිණි කැලුම් පතරින් මෙවුල තුරු
තැබුළු සොඳුරු සුසිලිටු වටොර රඹ තුරු
බැබළු සිලිල් ඉසිනා විලස සිරි දැරූ
වඳනා සුරන් කිරුළඟ රුවන කැලුමෙනා
බඳනා කොමළ ලතු විලසළ රතින් මනා
මඬනා බැවින් සිය පත එහිමි පතුලෙනා
බියෙනා ළතඹ හෝපලු සදිසි වෙවුලනා
වෙසෙසින් පහන් පැහැසර ගැඹුරු පිවිතුරු
බැලු ව ඇලුම් කරවන යළි දු බියකරු
සිරි පින් රුවන් පිරි එ සුරිඳු සයුරයුරු
මුවෙකින් කියා නිම විය හැකිද රුසිරු
ලෙව් හට තමන් නව කිව රිසි දෙන විසිනි
දෙව් තුරු සුරබි සුරමිණි සරි ද කෙලෙසිනි
පව් රෝ දුකුදු දුරලන පොකුරඹ හසිනි
දෙව් වෙද ඇසෙන පමණෙකි වියතුන් බසින
මන් පිනවන යස සිරි තෙද නැණ විපුල
සෙන් යුද ජන රජ බව තනතුරු සියල
දෙන් නෙන් පැතු විට සුබ වැඩ දිගා බල
පින් නම් සත කළ දෙව්රජ ම ය මෙකල
තුන් ලෝ තමා නතු කළ රවුළු සොහොවුරු
තුන් කල් බලා රමිඳුට වූ ඉටු මිතුරු
තුන් වේ ඇදුරු පුලතිසි කුල මිණි මිතුරු
තුන් විටෙක ම වඳු එ සුරිඳු පා තඹුරු