9 වන පිටුව
 

විදෙන ලෙළෙන නරිබර පුළුලුකුළැ රැඳී
හෙළන නඟන අත නුවනඟ බැලුම් දිදී
රුවින දිලෙන අබරණ කැලුම ගත යෙදී
සැලෙන පහන සිළු වැනි රඟන ලිය සැදී


ලකළ පුළුලුකුළැ බඳ මිනි මෙවුල්ලා
සමඟ රන් සලඹ රැවු දී වෙවුල්ලා
වයන පදට තබමින් පද කමල්ලා
රඟන ළඳුන් බල රූ සිරි සියල්ලා


වස්දඬු බිඟු කොවුල් වීණා නද මියුරු
රැස් වූ සෙයින් සත් සර රස ගී සොඳුරු
අස් වන ලියන් දැකැ ලිය කිඳුරඟන යුරු
තොස් කර තසිත සවනත නුවනත මිතුරු


මෙසේ පැවති අනතුරු ගී රැගුම් පුද
තොසේ සිතින් වැඩ සිටි සුර විමන් මැද
යසේ පතළ දිය තුළැ උතුළ මන නඳ
ඇසේ පුරා දකු විබිසණ සුරිඳු සඳ


පැමිණ සිටි අඳුන් ගිරි කුළු මුදුන වෙත
රෙහෙණ නැකත ගැලසිරි විලසින් දිමුත
සරණ මුළු ලොවට එ සුරිඳු සිරස පත
කලණ කිරුළ දිසි මුතු ලැල් රුවන් යුත


සුනිලේ පැහැය හැර සුදු වනුය ගන වෙලේ
විදුලේ එයින් වියොවට පැමිණ විය වුලේ
නිසලේ එ මේ සිරිගත් සුරිඳු හැම කලේ
උදුලේ දොහෝ රන්පට මෙන් නළල් තෙලේ


රුවිනේ උතුම් එසුරිඳු මිණි ඊල මෙනේ
සවනේ රැඳුණු රසුදුල තෝඩු ගන රනේ
වුවනේ වැජඹි සිරි සරසවිය හැම දිනේ
සොබනේ කනා කැටපත් යුවළ විල සිනේ


නිමකළ සතහැලේ සිහිලේ සැප සිලිලී
බියසෙණ රුපු කැලේ තුමුලේ දෙන නොකලී
නළලත ගිරිතෙලේ සුනිලේ රැසි නිපිලී
සුරරද දෙබැමලේ ගනලේ සිරි කියෙලී


සතුරු සුර අඳුරු එක පැහැර දුරු කළ
මිතුරු තඹුරු වන නිරතුරු පුබුදු කළ
අතුරු තුසර සිදු වන දැකුමෙන් පහළ
ළහිරු සිරිත් දිලිහිණි හිමි නෙත් සඟළ


යසගා න කළ තැන තැන සිදඟනන් සැදී
නොළගා එහිමි දිගු තුගු නැහැයට වොරැදී
සමගා රඳුන් දෙවියන් සෙවුමින් නිසැදී
මුරගා අහෝ මිණි කාලම වෙහෙස විදී

(c) Shilpa Sayura Foundation 2006-2017