ඔද වැඩි කෙළි මඟුල් ලැබ තුටු නිසා කල
සඳ සක් මඳොසිනැ'ද දෙන දුණු කැන් දුහුල
සොඳ පුර අඟන පහ සුමුඟින් පැහැ උදුල
සෙද දුනු දඹර මතු ඇය රැස් මිණි මෙවුල
තවර කල කොකුම් සඳුනෙන් තුනු සියල
පවර සුවඳ මල් දම් පැළඳ මනකල
බැහැර සිතු නොලු හිමිනඹුවො කෙළිලොල
එපුර ඉඳිති සඳපානේ සඳලුවල
මුව ලඹ රඹ වලු බර රන් තැඹිලි තුරු
සැදි ගෙවුයන් ගෙවමින් වේ මඟ අතුරු
කර කැවෙමින් දකුණට අවුදින් මිතුරු
වදු වෙහෙරට සිහි කර නව ගුණ මිතුරු
දිය තෙක් පැතිර සිටි බුදුගුණ කියා හැම
සගමොක් ලබනු වස් පිය යුග ඔබා බිම
සියැ සක් පුරා දුටුමෙන් තුටු වැ මුනි තුම
වඳුලක් තිලක ගෙයි වැඩ උන් මහ පිළිම
පෙරදල නිඳු දිය කඳ රට බිම් ගලත
සුරකුල හිමි රකිනුව ලක මැවු සත
මනකල ඒ සමුදුර පැහැයෙන් දිමුත
වඳුසල පිළිම හිමි සිරි සරණ සියපත
ගිලිය නොදී සැට මහණන් බව මහණ
මලිය දෙව් තෙරිඳු වැඩ හිඳ දෙසූ බණ
දිලිය පස් මහල් පායෙහි මිණි කිරණ
බැලිය හැකි විනම් දැක වැඳ යා කලණ
පෙර උවිඳා ගෙන ගිරිඳා සිඳු සලත
නැගි පැහැදා පෙණ සමුදා සැටි නුමුත
මෙන උළිඳා පැහැ විහිදා නෙ දිගු බිත
සැදි වටදා ගෙහි වඳු දාගැබ දිමුත
දිගුනෙත් නිලුපුලෙව් රතදර පබළ රඟ
සිරිමත් සුපුන් සඳ වැනි වුවන මනරඟ
පැහැපත් ලකළ රන්වන් විලසින් ලොවග
වැදහොත් පිළිම හිමි වඳු පායැ පෙළදිග