නිල තුරඟුට නැගෙමින් රිවි දෙව් සිරින
දුල කර සේසත් මිණි බරණ කිරණින
බල පිරිසෙන් සඟ යාපා පටුන් ගෙන
බල සේනානායක සපු කුමරු එන
අග පිපි මල් මලිගිය ලිය කැලේයා
වග බැඳ හෙන රජ හස පුල් විලේයා
ළඟ තුරු මල් ගිලිහුණු රොනවුලේයා
මඟ බැස යන පළ හෙළ වැලි තෙලේයා
අයිරා වණ වුවන් නවතන රිසින් එන
අයිරා දහස් දිලි දුනුකොත් සිපත් ගෙන
කයිකා වලෙහි දැක සෙබළුන් රැක සිටින
වයියා කරන් මල් කුරු ගන වන හිසින
නිමල් සඳ පහන් වැනි වැලි පිට උදුළ
සුපුල් මල් යහන් ලියමඩු ලියගෙ පෙළ
එකල් කෙළන වන දෙව් ලිය දැක කොමළ
ළසල් රුකෙක සැතපෙව ළපලු සිහිලළ
මල්දම් සුවඳ දුම් දුන් සොඳ වරලසිනි
කල්හිම් නිවා සැනහෙස සිහිලස රසිනි
කොල්ලම් ගසින් නිල් ඉවුරැති පොකුණසිනි
වල්අම් බලම දැක යා ගන් සහතොසින
කස්තුරි තිලක සැදි නළලත සුමුටාන
පුල් මහනෙල් මල්දම් හිස දවටාන
සළෙලුන් යනෙන නිති කැර කෙළි කවටාන
රිවි මුදුනත වන මැද වදු සුමුටාන
මඟනිලමින් සිටි නා දොඹ නි පියල
පිසසලමින් මලගෙහි කෙළ රොනිනවල
තකුඩලමින් බිදැ විලිකුන් මියුරු පල
ඉසුඹුලමින් යෙහි සැළ දඹ පඳුරුවල
රිවිතැවුලේ පිපි කමලේ විල් ගැවසි
මතකොවුලේ තුරු වදලේ හඬන නිසි
වන සැවුලේ මග අසලේ පොර සැලසි
ගුරුබැවුලේ යව අවුලේ නොවී කිසි
වන සිරි පියුම් රා බඳ රනබරණ යුරු
වටපිරි සුපුල් දුනුකේ මල් මුරුත තුරු
බිඟුසිරි වැරූ ඔලුපුලැඹුලවල තඹුරු
හිමසරි සිහිල් දිය හෙබ දැක යන් මිතුරු
සලා දුලා පියොවුරු තඹර රොන් රත
පුලා නිලා උපුලන් ලාගෙන කනත
කලා පිලා නොව ඇල්ගෙවි කෙළින ඉත
බලා පලා යන අස්වන් ගුරුඑකෙත