උනු නොව බරණ සිවු සැට වොටුනුත් පැළඳ
වෙනු මෙන් පසක් උන් සඳ සී හසුන් මැද
මනු රජ කුලෙන් පැවතෙන පිළිවෙළ නොසිඳ
ගනු අවසර එනිරිඳු සිරි පතුල් වැඳ
පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින්
පරව තඹර පෙති ගිලි දිය තලා පිටින්
තරව සිහි ඇති ව පරතෙරට යන අටින්
කරව පියාසර සකි කොන්තගම් තොටින්
කළුවැල් කපුරු දුම තුළ ලෙළෙන දද පෙළ
සුවිසල් මිහිඟු සක් සන් මිණි හඩ වතළ
කැරලොල් සතන් පවසන තියු ගී දෙමළ
මනකල් ඉසුරු කොවිල ලගිනේ ලකළ
වෙසඟන තුඟු තන යුග රොන් කොකු මඟර
පිස එන මඳ පවන් ඇද විල් ලිහිණි සර
ගොස අලුයම් පසතුරු සවනතෙහි කැර
ඇස නිදි ගැට හැර නැඟ සිටු උදාහිර
උදා ගිරි කසුන් රිටි වැට හිසැ බැබැළී
එදා සහසකර පහනෙව් කරන හෙළී
යොදා නුවන් ඉසුරුට කරන පුද කෙළි
විදා පියා නිලඹර යන් නො වි මැලි
සුරරද සමන් සමඟින් සුරඟන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කැර පුද වඳින මුනි සිරි පා තඹර
සකි සඳ පෙනේ සමනොළ ගල නැගෙන හිර
ගනේ මිණි බැබැළි කිරණෙව් සතපාය
රනේ යටග සැවුලිඳු දද ගළපාය
අනේ ලකර කළ පුර අප නරපාය
පෙනේ දකුණැ මහසෙන් දෙව් රද පාය
වලදින අදහසින් මෙන් සුර ගඟ අඟන
නල බල සසල දළ රළ පෙළ නුබ නැඟෙන
වෙලළසැ ගැවසි මුතු සක් පබළු බබළන
බල මහ මුහුද එම සඳ උතුරෙන් පෙනෙන
සන්නන් සිහින් ගෙදි සෙවනලු වැලි තෙලෙන
තැන් තැන් වල ම සැතපී සියුමැලි බැවින
රන්වන් කරල් ගෙන එන ගිරවුන් අතින
යන් මන් තොසින් මඟ තොරතුරු නියම දන