දුවන බඳ කිකිණි හය කුර පහර වැද
සවන තල නිනද ගිරිදුල් සෙමෙර බඳ
රවන නොයෙක තුරු ජය සක් හඬ නොමඳ
දෙවන මුහුද මෙන් ගුම්ගති පුර නිබඳ
සිහිල් සපු සුවඳ ගෙන එන උයන්වල
සිහිල් නෙලෙන් හඬවන මිණි කිකිණි කැල
විපුල් රත් සෙමෙර බඳ රන් දද සසල
ළකල් මෙපුර තුළ වළහා රිවි තැවුල
තර සර හිවි මහල් මෙහි පෙළ නිතොර
සුර සිදු විදුරදන් සැදි සඳලු මනහර
කරවන මඟුල් කෙළියෙන් නො මැති අවසර
පුර සිරි බලන ලෙස බට සුරවිමන් යුර
තර සර හිවි මහල් මෙහි පහ පෙළ නිතොර
සුර සිදු විදුදරන් සැදි සදලු මනහර
කරවන මඟුල් කෙළියෙන් නො මැති අවසර
පුර සිරි බලන ලෙස බට සුරවිමන් යුර
සිසි වත වුවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුළුලුකළ රිය සකයුරු තිසර තන
දිසි රන ලියෙව් රූ සිරි යුතු මෙපුරඟන
ඇසි පිය හෙළන පමණින් නො වෙති දෙවඟන
සොඳුරු සිය නඳන් අනුතුරු දෙස සිටින
කිනිරු නිසසරන් කදහස වෙන නොවන
ඉසුරු දන ද සිය නිකෙලෙස් තැන රඳන
උතුරු දිගිඳු පුර දිනි මෙපුර වැජඹෙන
උදේ සැපත් සුරගුරු අලු කර අවට
සඳේ මුදුන් පත අස්විද නැකත සිට
නදේ සිතින් තම කුල දෙවිය සිහි කොට
යෙදේ ගමන් යහළුව මෙ පුරෙන් තොපට
නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි
පුල හෙළ කුසුම ලිය පිය තෙපල රන් කෙඩි
සල සුදු සෙමෙර සේසත් ගිරිඳු නොද වැඩි
බල සුබ නිමිති පෙර මඟ නැකතටත් වැඩි
ලොවැ විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදි
දෙන නොමඳා සිරි සඟ මොක් සැප නිසැදි
ලද මුනිඳා දම් කඳ පහස මන බැඳි
වදු දළදා හිමි තෙමහල් පහය රැඳි
ගනරන් කොතින් දිලිහෙන මිණි රැස් විහිදූ
පවනින් ලෙළෙන පල අග මුතුලැල් සිනිඳු
සඳකැන් මිණින් බඳ යුතු බිතු පෙළින් රැඳු
එතැනින් ගොසින් සැණෙකින් රජ විමන් වදූ
රිවි බිම්බා යුරු රිවි කුල කමලකර
පියුමම්බා නිතොර ව රැඳි උර මැඳුර
මෙනරම්බා හිමි රූ සිරිනි මනහර
පැරකුම්බා නරනිඳු සඳ දකු මිතුර