කැලුමෙන් යුතු මුතුලැල් ලඹ දෙන මල් දමින'වුලේ
වියනින් පට නවහම් කළ තිරයෙන් දිගු පුළුලේ
ගනරන් වැට පහනින් තුඟු කලසින් මලිනි'දුලේ
මෙ ඇමින් සැදි අබියෙන් ඔහු මනරම් රඟ මඬලේ
තහළමි කළ බෙර තම්මැට පට තන්තිර ඩමුරු
තඹමේ ටක බෙර මොම්බිලි විණා මිණි සුසිරු
බෙර මද්දල කහළමි රසු නිලගම් මඳ සොඳුරු
මෙ සියල් මහ ගිඟුමෙන් පළ කෙරෙමින් සිඳු අයුරු
කැලුමින් යුතු ලකරින් සොද සුවදින් නන වෙසිනි
සැදෙමින් තිර අතුරින් එළි බසිමින් ඉඟි ලෙසිනි
කියමින් හිමි නිරිඳුන් සොමි තියු ගී රස බසිනි
රඟමින් ලිය සමඟින් සිටි නළුකැන් දකු තොසිනි
නියෙන'ග බරතැ'දුරන් කී ලෙසටා
බැසරඟ තම නතු පදයෙහි පිහිටා
නුවන'ග බැලුමන් ලා සුබ දිගටා
පඩෙරඟ රඟ සිරි පෑ වැනි එවිටා
නඳනා ගණිඳුට පුද කළ නිමලී
මලිගිය මල් රැඳි රඟ බිම සුනිලී
කිරි සයුර"ළලන සෙමෙ රසිනුදුලි
දිය බිදු රැඳි වෙන් උර සිරි කියෙලී
පිඹිනා වස්ඳඬු ගොස කාලමටා
වයනා මද්දල බෙර තාලමටා
රඟනා නොහැරම එම තාලමටා
ලියනා දුට වේ තොස තාළමටා
මිටු ගත හැකි තුනු වලඟින් නිමලේ
පටු නළලැති ළඳ සොඳ මුව කමලේ
දුටු සඳ දිගු බැම බිඟු වැළ සසලේ
තුටු නළ රඟ දෙයි මන රඟ මඬලේ
ලකුළුව රඟ දෙන ලිය රුවිනු'දුලා
බැම'ළුව නෙතු සැර සරහා මුවලා
සලෙළුව නළලත් විද විද නොවලා
මදළුව සැතපිණි සිය කැමිනොබලා
රැන්දු වරලස පිපි මල් පන්දු
පන්දු කෙළ යළි කියමින් සින්දු
සින්දු මන ගිමි දැක ඒ සොන්දු
සොන්දු තොප දිවි ලත් පල වින්දු
![](/sayura/images/logo2.png)