13 වන පිටුව
 

සරනා මල් අතරතුර බිගු වැළ බරින
ලෙළෙනා ලිය විලස එහි තුරු වැළඳ ගෙන
මලිනා රැඳි සොඳුරු වරලස විදා ගන
කෙළනා වැනි හිමි වැලඳ වන දෙවඹුවන


බට ගඟුළැලි පෙළාන පැහැ දුළාන
දිගු තුඟු පිරි කුළාන විලස ළාන
බබළන දළ දළාන මද ගළාන
දකු මත ගජ රළාන වන ගළාන


ගිරි හිස පිල'ඹළාන සිකි නළාන
පිපි මාරුකු පෙළාන බිඟු දුළාන
රැවු දෙන වලිකුළාන විලි කුළාන
බල මියුර'ඹ දොළාන මුව රළාන


ගිජිදු දිමුතු මුතු වැළ උර බිතේයා
සුසැදු මොනර පිල් නිල් වරලතේයා
සිනිඳු බොලඳ රස තෙපලෙන් යුතේයා
මලදු කතුන් බල ඇත වන පෙතේයා


ගිරවුන් තුඩින් මතු වන වෙහෙස සිතමිනේ
ඉසිමින් කඳුළු සිටි තැන සිට තැවෙනු මෙනේ
පවනින් ලෙළෙන ඉස ඉස පිනි බිඳුත් ගනේ
පිඟුවන් කරල් තුඩු නැමි ඇල් කෙතදු පෙනේ


අඹා සරල් වරලස මල් කැනිති ඔබා
තබා විළිදු දිව දිව ඔවුනොවුන් අඹා
නොබා සරන එහි ඇල් ගෙවිලියන් සුබා
සබා සබඳ දැක ලැසි නොව එවන ගැබා


කෙසා පුළුල් දුහුලද ඇද දණිනු'ඩම
සිසාරමින් ඇද ඇද තනමින් තෙරුම
තොසා යනෙ'න ගම් වැසි අඟනන් දැකුම
නිසා නොඉඳ යා ගත මැනවි අල්ගම


සුර නා ලිය ලෙසින් - සරනාඟන පෙරටුයේ
යාදසන යා දසනෙන් - ලැසි නොව යව නිවටුයේ


පසස්නදා නදනෙ'වි තුන් දියටෙ'කය
සවන නුවන් පුද කළ දුමිඳුන් දැකය
නැමඳ තොසින් වන පින් පල නොව සැකය
බලග වෙහෙර සැදි සිරිසර දොරවකය


එවරණ ගිජිදු මුදුනත පුරඳුරු ලෙසිනි
පුරඳුරු මුදුන සහතර කිරුළක් ලෙසිනි
කිරුලග ලකළ මා ඇඟි රුවනක් ලෙසිනි
මැඳුරෙහි බැබළි මුනිඳු තුමා වඳු තොසිනි

(c) Shilpa Sayura Foundation 2006-2017