රංගා දහන් නළු මුළු උර රඟෙහි මනා
සංගා නොයෙක පවි විරිදුන් නිබඳයෙනා
නංගා යසස් දද මහ සඟන වැජඹෙනා
ගංගා තිලක වෙහෙරද දකු මිතුරු පිනා
උසින් යුත් අඳුන් ගිරි කුළු එක ලෙසට
රසින් උදුළ සාබර දුමිඳුන් ළඟට
ගොසින් අයැද අදහස සිදුවන ලෙසට
තොසින් ලැගුම් කර වැද එහි පිළිමගෙට
පැළ දිගු දිගැස නිසාය ගොස් අසිරි පතා
සිසි පිය නරඹමින් අප වැන්නවුන් පතා
නොනැවත ගියාසේ පල ලදුවහයි සිතා
පෙරදිග දිගැස හස ගත ලෙසිනි අලුවනා
කෙරෙමින් නෙත් පුබුදු දැහැ සිතැඟි නිදි ලොබා
තුඬගින් අවුල් හැර පිය යුගෙහි මැළි හඹා
වැඩඋන් එමුනි අළ සුදු රස් පිඩක සුබා
පහමින් පිළිම ගෙන් යාගන් මිතුර සුබා
ලෙළ රළ පිරිලි දිලි වෙරළත වෙතේයා
පෙණ මුතු ලැලින් සැදි දලනිදු සතේයා
රැදි සුදු නිල් යටක සිරි සර ගතේයා
කළු ගඟිනෙ'තෙර යව දිගු පුළුලැ'තේයා
පැහැපත අහස් ගඟ කලිඳු නී මැදේයා
ගමනොත එසිරිසර පානෙ'වි නඳේයා
වනපෙත සුනිල් මුදුනින් එක බඳේයා
පියපත පතරමින් ගියහොත් යෙදේයා
නොකාල යේ ඇසිරු කළ ලොවැස්සන
උදාලයේ කුළු දි තොස සලස්සන
ලොපාල යේ බැඳි සිතු නොපසු බස්සන
දෙවාලයේ ඉඳ යා ගන් සුදස්සන
සොඳුරු තෙනෙන් රැඳි ගන රන් පාණ යුරේ
සමග වරග'නන් මිණි වැනි පාණ'තුරේ
සරණ කුසුම් සර සරනා බාණ කරේ
වඩන මදක් ඉඳ සැතපී පාණදුරේ
ළෙලවමින තන බර පුවළ අළ ගන රන් තැඹිලියේ
දුහුලැද උඩු දණ මඬලද සිරිසර පාමිනෙ'ලියේ
ගෙරි කවමින් ටනෙ'න ගොපලු අඟනන්ගෙ තුනු එලියේ
නෙතු සිතු සලසමින් සබඳ නොලසට මොරටු එළියේ
නේපා පෙළින් සුලකුළු මැඳුරැති නොමඳ
මිපා ලෙසින් බිඟු රැවු ලිය ගී පබඳ
මාපා පටන් වැද තුරු රැවු සවන් නඳ
තාපා සතපමින් යා ගන් මඳක් ඉඳ