රුදු අවරගිරි රජ කුළු කිරුළ'ගට
යෙදු මිණක සිරි ගත් වර දිනිදු
නඳු සිතින් ගොස් රැ දවස ලැගුමට
වදු මිතුර බෙන්තොට වනවාසයට
වේසය ඇත උනා වැද විලඹු පාසය
පාසය නොවිඳි දැහැ මුවරඳිනි ආසය
ආසය ලෙසේ දකිමිනි එවන වාසය
වාසය කරග මිතුරෙහි මුනි නිවාසය
ළහිරු පියහු වස වසතන කරත දෙත
කෙසරු දසන් මද මද පෑ ඒ පැපත
තඹුරු මුවින් සෙනු සෙන සදෙහි විල්කත
සොඳුරු සබඳ ඉන් යා ගන්න මාවත
රන්තැටි අයුරු පියවුරු දැරු තුනු යටිනි
මන්පැටි කරන සුරලිය ලිය එත වටිනි
උන්සැටි නෙතැ'ඳ ගමනො'ත බිඳ තගෙ අටිනි
බෙන්තොටි නෙ'තර බැස යා ගන් සහතුටිනි
තඹෙරෙ'වි පැපැ සියුමැලි අත් අලුත්තම
ලාලි කෙළින තුනු කැලුමෙන් අලුත්වම
ලද සොඳ ලියන් බලනුව ගොස් අලුත්වම
සකි ලැසි නොවන් සවිසිරි බර අලුත්ගම
සැදි සිටින මද යුදයට සේ රුවල
නිසි අඟනන් යුත් සුර'ඟන සේ රුවල
රැඳි වෙළෙඳුන් වන් නිසලින් මේ රුවල
දැක යා ගන් සව් සිරි බර බේ රුවල
සුරඟන යුරු තුනු තුනු සිරිනි මත් ගොන
රුසිරෙන යුත් පිනවන දැකුම මත් ගොන
ගොස කර නිතොර උනුන'ස සරන මත් ගොන
මමිතුර ගොස් වදන සිටිනු'දිල මත් ගොන
පයියාගල නො ඉඳ - සැදි සිරි බලන ලොල්ලේ
වයි යා ගන්න විසිතුරු - නෙරළු තුරු සෙවණැල්ලේ
මුනි සසවද දන් සමයෙහි ගිනි මැදට
වැද වැඩ උන් ලෙස පානෙ'වි දැන් ලොවට
දිනිඳු සඳ වලා අතුරට පැමිණි විට
වදු මමිතුර සඳ සිරි බර කළුතොටට
නුවනින් නිල් උපුල් රත'දරිනි නාලිය
දසනින් කොඳ කැකුළු සිරුරින් කනාලිය
දිනමින් නිතොර එහි සරනා මනාලිය
දැකගන් එයින හැකි නෙත් සිත් පිනාලිය