නාට්‍යය අංක 10
 

වැදි රජු : (බිසවට) ඉක්මනට ගලවන්න. ඔයි හැට්ටෙත් ගළවන්න (බිසව ගළවයි) අනේ ඉක්මනට එන්නම ඕන.
වැදි රජු : (ළමයින්ට) මෙයා බලාගන්න ටිකක් මම එනකන්. (බිසව අඬයි. මොහොතකින් වැදි රජු ඉක්මනට මෙන් ඇවිත් වටේ යයි.)
වැදි රජු : මොකද මොකද? මම මේ ඇඬිල්ල ඇහිලයි දුවගෙන ආවේ?
බිසව : යමු දෙන්න එක්කම.
වැදි රජු : මම ඉක්මනට එනව. මම අඬනව ඇහිලයි ඉක්මනට ආවේ.
බිසව : බැහැ එහෙම කරන්න.
වනේ වසන වනචරයෙකු වූ මට ආලයෙන් තගේ සෙනේ සිතින් උන් කුමරු මැරෙව්වයි මා අතින් සෙනේ පණසේ කල් කර සිටියත් තී සමඟ දැන්-මට අනේ විස්වහ නැත තී නම් නොපතන් නොදෝමකින් ඔබ වගේ ගෑණු ගන්නවට වැඩිය හොඳයි. තී නම් නොදෝමකින් මෙන්න මං ගියා.


(වැදි රජු පොට්ටනියත් සමඟ පිට වී වෙස් අත්තෙන් පිටව යයි. බිසව ගඟ ඉවුරේ වාඩි වෙයි. මෙහිදී මෙතෙක් බිම එලා තිබුණු පොල් අතු ඉරු දෙක ගඟ මෙන් සකස් කෙරෙයි. බිසව මුහිණට අත තබාගෙන විලාප කියන්නට පටන් ගනියි.)


මම කළ මේ අනුවණ කම් සඳ-මගෙ
ගුණවත් හිමිඳුගෙ ගුණ කඳා
හදවත ඇවිලෙයි තද ගිනි කඳා-මම
කළ මේ අනුවණකම් කිඳා


(බිසව ඉකිබිඳින අතර බෙර වාදකයෝ පොතේ කවිය ගයති)


සක් දෙවියන් සිවලෙකු මෙන් දා-මහා
විස්කම් උකුසෙකු ලෙසින් ඳා
මාතලි මසෙකු ලෙසින් දා-නික්
මුණි නරලොව යන විලසින් දා


කුරිරු හිම වසමින
නුදුරු තැන සිට බලමින
මස් කැටියක් කටින් ගෙන
නපුරු නරියෙක් ඒය දුවගෙන


ඇසුත් ඉඳ රවනා
දතුත් ඉඳ නියවනා
කුරිරු හඬ දෙමිනා
නපුරු නරියෙක් සබේ එන්නා


තානම : තන් දෙන තනා නා-තන් දෙන තනින තානිනා


(නරියා බෙර පදයට අනුව පැමිණ බිසව ඉදිරියෙහි සිට ගනියි. මෙහිදී නරියා මස් කෑල්ල බිම තබා ගඟට පනින විලාසයක් පෙන්වයි. නරියා 'හෝක්කියෝ හෝක්කියෝ' යයි කෑ ගසයි. බිසව මෙය බලා සිටියි. බලා සිට මෙසේ කියයි)


බඩ සාඳුකට ගෙනියන මස් කැටිය ලොලා
ගොඩ තබමින් ගඟ යන මසුට දැක ලොලා
උඩ යන උකුසු අරගෙන ගිය පසු නොබලා
දැන දැන මෝඩකම් කෙරුවද තෝ හිවලා


නරියාද බිසව දෙස බලා


මනමේ රජුට අග මෙහෙසුන් බිසෝ වෙලා
කැලේ උපන් වැදි රජෙකුට ලොබ බැඳලා
පැළඳි ආභරණ ගඟකින් එගොඩ කළා
මටත් වැඩිය අනුවණකම් බිසොත් කළා


(එතැනින් නැඟිට බිසොව ළඟට යන නරියා එක කකුලක් උස්සා බිසොවගේ ඇඟට මූත්‍රා කරන විලාසයක් අඟවයි. බිසව තම මුහුණටද කටටද අප්‍රිය යමක් දැනුණාක් මෙන් ජුගුප්සාවෙන් අත ගා ඒවා පිස දමන ගමන් ඉකිබිඳ හඬන්නට පටන් ගනියි)


බිසව :


අයියෝ මගේ හිමි හට කළ වැරදි නිසා
දෙවියෝ සිවලෙකු සෙ ඇවිදින් මෙමට රොසා
බැරියෝ ඉවසන්ට කටෙ කළ මූත්ර නිසා
ගනියෝ මදිවි මා දිව ඇඳ කා සිතු විලසා


සකිය නොකිය නොකියන රහස කාටත්
සකිය නොකිව්වේ ලොව සැළවෙයි කාටත්
කොපුව අතට දී හිමි මැරෙව්වා ටත්
මදිව ඇද කෑව ලෙස වේය කාටත්


(බිසව දිව දික් කර ඇඳ ගන්නා විලාසයක් පෙන්වා මැරී වැටෙයි)


බෙර වාදකයෝ දෙවියන්ට පිං දීමේ කවි ගායනා කරමින් පිං බෙර වාදනය ආරම්භ කරති)


සසග සියල් බඹ ලෝ වැසෙන දෙවියනි
උරග ගුරුළු යක් බූ නර අසුරයිනි
නොළග ළඟ වැසෙන දිය ගොඩ සව්සතුනි
සමඟ මෙපින් අනුමෝදන් සැම සිතිනි

(c) Shilpa Sayura Foundation 2006-2017