වැදි රජු තම පිරිසට :
බැද්ද මැදට රජකම් කෙර3මට දෙමි නුඹලටත්
සිද්ද රත්න මෙම කිරුළය පළඳිමි නුඹලටත්
බැද්ද නැදෙහි රජකම් කෙරුමට දෙමි නුඹලටත්
යුද්ද කරල මෙම කුමරි අරන් දෙනවද මටත්
දෙටු : අනේ රජ්ජුරුවන් වහන්සේ ඕකත් වැඩක්ද?
වැදි රජු : දෙටුවා කිසි දේකට බය වෙන්න එපා. පන්සියයක් මගේ සේනාව තමා භාරයේ ඉන්නේ. ඒ එකිනෙකා යවලා මං කුමාරයාව විනාශ කරන්න ඕන. දෙටුවා මගේ යුතුකම් තමාට මම ඉෂ්ඨ කරනවා. (මනමෙට) තමා වැදගත් කුමාරයෙක් හින්ද මම දෙපාරක් තුන්පාරක් තමාට කිවුව.
මනමේ : ඔව්
වැදි රජු : තමා මැරෙන්නයි දඟලන්නේ
මනමේ : මම
වැදි රජු : ඒක නිසා යුද්දෙට ලෑස්ති වෙනවා. මගේ සේනාවත් එක්ක
මනමේ : ඔවු මම ලෑස්තියි. තමාගේ පන්සියයක් මම තනියෙන්
දෙටු : අයියෝ, ගොයියෝ ලයියෝ මෙහෙ වරෙල්ලා
(එක් වැද්දෙක් ඉදිරියට එයි. රජු සමඟ යුද්දයට එළඹෙයි. දුන්න ඊය සමඟින් ඔහු යුද්දය පවත්වන කල අත වැසියා ගොස් පොල් අතු ඉරු දෙකක් බිම එලයි. යුද්ධය කෙළවර වන්නේ වැද්දා මැරී පොල් අතු ඉරුව මත වැටීමෙනි. මේ ආකාරයෙන් සෙසු වැද්දෝ යුද්ධ කරති. යුද්ධ කොට එකිනෙකා පොල් අතු තීරු උඩ මැරී වැටෙති. අවසාන වැද්දා මැරී වැටෙනවාත් සමඟ මෙතෙක් කෙළින් නැගිට සිටි වැදි දෙටුවා හෙමි හෙමින් ඇදී සෙනඟ මැරී සිටින තැනට එති. පැමිණ මළකුණු එකින් එකට පයින් ගසා ඒ පැත්තට මේ පැත්තට පෙරළා දෙටුවා සිටීදැයි සොයති)
බිසව : අර කයිවාරු කාරයා කෝ.
මනමේ : මමත් බලන්නේ එයා තමයි. මෙතන කොතන හරි ඇති.
(මනමේ රජු වැදි දෙටුවා අල්ලා ගෙන ඔසවා තමා කලින් වාඩි වී සිටි පුටුව ඇති තැනට පැමිණෙයි. වැදි දෙටුවා බිම වැටී රජුට වැඳගෙන සිටියි. බිසව දුන්නේ කෙළවරක් ඔහුගේ බෙල්ලට දමා ළඟට අඳියි.)
මනමේ : උඹ කොහේද ගියේ?
දෙටු : මම නිඳාගෙන හිටිය මෙතන්ට වෙලා.
බිසව : මෙයා තමයි සේරම කළේ. කේළම් කිය කියා එතෙන්ට ගියා. මෙතෙන්ට ගියා.
දෙටු : මම කිසි දෙයක් දන්නෑ මම නිඳාගත්තා.
බිසව : පේනව නේද හොර දෙටුවගේ හැටි. තමා කොහේද යන්නේ?
දෙටු : මම යනවා පින්කම් බලන්න.
බිසව : තමා නේද අර කයිවාරු ගැහුවේ රජෙක් කියල මිනිහෙක් එක්ක ඇවිල්ල.
දෙටු : මම? මොන බොරුවක්ද? අපේ බාප්ප කෙනෙක් ඉන්නව ඉස්පිරිතාලේ අවිස්සාවේලලෙ. මම මේ එහේ යනවා.
මනමේ : තමා කවුද එක්ක ගෙන ආවේ.
බිසව : ඇත්ත කියනු තමා කොහෙද යන්නේ? තමාගේ ආගම මොකද්ද?
දෙටු : මේ ගමත් ආගම තමයි.
බිසව : (දුන්න බෙල්ලට දමා බෙල්ලෙන් අඳිමින්)
දෙටු : නැහැ ආගම් දෙකක් තියෙනවා. බුද්ධාගම පාවිච්චි කරනවා. කිරිස්තියන් ආගම කනවා.
බිසව : තමා සිලුත් සමාදන් වෙනවාද?
දෙටු : ඔව්.
බිසව : මොන සිල්ද ගන්නෙ?
දෙටු : දහතුන් සිල්. ඉස්සෙල්ලා පන්සිල් ගන්නවා. පස්සේ අටසිල් ගන්නා.
බිසව : එහෙනන් තමා සිල් සමාදන් වෙනව නම් කියනව බලන්න තුන් සරණේ.
දෙටු : අර සරණේ. මේ සරණේ. කොයි සරණේ.
බිසව : තමා බොරු කියනවද?
දෙටු : මම කවදාවත් බොරු දන්නේවත් නැහැ.
බිසව : තමාට ඔයි කියන විදියට අපි යන්න දෙන්නේ නැහැ. අපි කියන විදියට දිවුරුවොත් විතරයි යන්න දෙන්නෙ.
දෙටු : හොඳමයි.
බිසව : එහෙනන් මම කියන විදියට කියල දිවුරන්න ඕන. (දෙටු පහත් වී වැඳ ගෙන සිටියි)
බිසව : කෙනක් විසින්
දෙටු : කෙනෙක් විසින්
බිසව : කෙනෙක් නහන්නට
දෙටු : කෙනෙක් නහන්නට
බිසව : කිසි දිනක
දෙටු : කිසි දිනක
බිසව : බොරු කේලම් කියන්නෙවත්
දෙටු : බොරු කේලම් කියන්නෙ නැහැ
බිසව : මොනවා
දෙටු : බොරු කේලම් කියන්නෙ නැහැ.
බිසව : කියන්නෙවත්
දෙටු : කියන්නෙවත්
බසව : සතුන් මරන්නේවත්
දෙටු : සතුන් මරන්නේ නැත්නම් කන්නෙ කොහොමෙයි?
බිසව : (කඩුව ඔසවයි) මම කියන එකද ඔයි කියන්නේ?
දෙටු : මම සතුන් මරන්නේ නැහැ.
බසව : (කඩුව ඔසවයි) සතුන් මරන්නේවත්
දෙටු : සතුන් මරන්නේවත්
බිසව : සතුන් මස් කන්නේවත්
දෙටු : (මඳක් සිට) සතුන්ගේ මස් නැත්නම් බත් කන්නේවත්
බිසව : (කඩුව ඔසවයි) (වැදි දෙටු හපෝයි කියයි)
දෙටු : නැහැ මස් කන්නේ නැහැ. මම කන්නේ නැහැ.
බිසව : සතුන්ගේ මස් කන්නේවත්
දෙටු : සතුන්ගේ මස් කන්නේවත්
බිසව : කිසි දිනක රජකෙනෙක් සමඟ යුද්දයට යන්නේවත්
දෙටු : ඔව්
බිසව : (කඩුව ඔසවයි) රජ කෙනෙක් එක්ක යුද්දයට යන්නේවත්
දෙටු : රජකෙනෙක් සමඟ යුද්දෙට යන්නේ නැහැ. මීට පස්සෙවත්.
බිසව : මොනවා. මම කියන විදියට කියනවා.
දෙටු : රජකෙනෙක් සමඟ යුද්දයට යන්නේවත්
බිසව : නැති බවට සහතිකයි.
දෙටු : නැති බවට සහතිකයි.
බිසව : බොරු කියල තිබුණොත්
දෙටු : මම දිවුරලා සහතික කරල නේ ඉන්නේ
බිසව : තමන් පවුල් වෙලාද?
දෙටු : මම
බිසව : තමන්ට ළමයි ඉන්නවද?
දෙටු : ළමයි මුට්ට දෙකයි. එක මුට්ටෙක විස්සයි.
බිසව : තමන්ට වෙන රක්ෂාවක් නැති හින්දා ඔයි තියන මළ සිරුරු ටික සුද්ද කරල දාන්න ඕන.
දෙටු : මට, මදෑ කෑව පිදුරු. මම ඒව බලා ගන්නන්.