(වැදි දෙටුවා මනමේ රජු ඉදිරියට බියෙන් මෙන් ගමන් කරයි. කුමාරිය රජුගේ අතේ ඇති කඩුව ඉල්ලා දෙටුවාට එය ඔසවා බිය කරවයි. දෙටුවා බිය වී 'හාපෝ' යයි කියා කෑ ගසාගෙන වැදි රජු ඉදිරියට දිව ගෙන යයි)
වැදි රජු : මොකද දෙටුවා කෑ ගහගෙන ආපසු දුවගෙන ආවේ.
දෙටුවා : කිට්ටු වෙන කොටම මොකද්ද එකක් දික් කර ගෙන එනව.
රජු : තමා කිවුවද කාරණාව.
දෙටු : මං කියන්නම තමයි හැදුවේ. කොහෙන්ද පරෙවි ජෝඩුව වගේ ළංවෙලා ඉන්නවා. මම මම මම යන කොටම වගේ දික් කරනවා උල් එකක්. මගෙ අම්මෝ.
රජු : දෙටුවා. තවමත් ඒ අය ඉන්නවද? ඉන්නව නම් කියන්න මේ වනන්තරයෙන් පිටවෙලා යන්න කියලා. අපි යුතුකම් දන්න මිනිස්සු. නොදැනයි ඔය ඇවිල්ල ඉන්නෙ. වැරදීමකින්. දෙටුවා දන්නව නේද අපෙන් බේරිලා ගිය කිසිම කෙනෙක් නෑ ඔයි විදියට ආපු.
දෙටුවා : මේ ගොල්ලන්ගෙ අන්තිම ගමන තමයි ඇවිල්ල තියෙන්නෙ.
රජු : ඒ ගොල්ලන්ට කියන්න.
දෙටු : කොහොමද කියන්නෙ. මං යනකොටම දික් කරනවා.
රජු : කොහොම එකක්ද?
දෙටු : මෙහෙම එකක් (අතක් දික්කර කඩුවේ ස්වරූපය පෙන්නයි)
රජු : ගිහිල්ල බලනවා. ඉන්නවද කියලා. ඉන්නව නම් අපිම යමු බලන්න.
ඔබ වහන්සේ ගිහින් බලා ගන්න එක හොඳයි.
දෙටු : එහෙනන් තමා ඉස්සර වෙනවා. හොඳයි (වැදි රජු මනමේ ළඟට ගොස් ඔහුට කවිය) සබඳ දනුය තා නීලමාල වැදි රජෙකි. මන්-වන එමැද වාස කර ඉන්නෙ පන්සිය පිරිවරන්
කවුද තොපට මගෙ වනෙන් යන්න වර දුන්නෙ දැන්-කුමරියද සමඟ සිය පුරට යාම පම වෙයි බෝලන්
මනමේ වැදි රජුට කවිය:
පුර බරණැස් රජුහට දා කුමරු මනමේ නමින් - විත්
හැර සිල්පෙට තක්සලා පුර සිට එන්නෙ මන්
වැර දුනු සිල්පෙට දක්ෂ ධනුද්දර නම යෙදුන්-මම
පුර යමි ගුරුතුමා පාව දුන් ළඳ සමඟ දැන්
රජු : දෙටුවා
දෙටු : මන්දෝ
රජු : එයා කියනව බරණැස් නුවර රජ්ජුරුවන්ගේ පුතාලු.
දෙටු : හොඳද?
රජු : මෙයා තක්ෂලා පුර දිසාපාමොක් ආචාරින් ළඟට ගියාලු ඉගෙන ගන්න.
දෙටු : මේ එහේ ගිහින් ඉගෙන ගෙන එනවා.
රජු : ඔව්, සිල්ප ශාස්ත්ර දියුණු විදියට ඉගෙන ගෙන දක්ෂ නිසා ගුරුතුමා දක්ෂ ධනුද්දර කියල නමකුත් දුන්නලු.
දෙටු : මේ දැනුත් කුමාරය කියලා.
රජු : නැහැ දෙටුවා ධනුද්දර කුමාරයා කියලා නාමයක් දුන්නලු.
දෙටු : දක්ෂකමට හා හා
රජු : මෙයාට ඉතින් ගුරුතුමා සන්තෝෂයට තෑග්ගකුත් දුන්නලු. තමන්ගේ දූ කුමරියත් සරණ පාවා දුන්නලු.
දෙටු : මගෙ තාත්තේ, මොකට මඟදී මැරෙන්නද?
රජු : මගදි මැරෙන්න නේන්නම්, මේ ගොල්ල වැරදිලා ඇවිල්ල තියෙන්නෙ.
දෙටු : මොකදද් එකක් නේන්නම්. අනේ තාත්තේ.
(මනමේ රජු හා බිසව හුන් තැනින් නැඟිට වැදි රජු ඉදිරියට එති. බිසව ඔහු දෙසත් වැදි දෙටුවා දෙසත් ඉතා නොසතුටින් මෙන් බලා සිටියි)
බිසව : අනේ බලන්නකෝ මේ ගොල්ලන්ගෙ හැටි. හේනෙ බැඳපු ලීයක් වගෙයි.
රජු : මේ දෙන්නම එකයි බැලුවම, අරක ඊට එහා.
බිසව : දෙන්නම මූකලන් වගෙයි.
දෙටු : ඉරණම තමයි මෙහේ ගෙනාවෙ. මොනව කරන්නද මගෙ තාත්තෝ.
වැදි රජු : ඒක නෙවෙයි තමාට කියනවා. තමා හොඳ
දක්ෂ කුමාරයෙක් පින්වත් කුමාරයෙක්. ඒක නිසා පාර වැරදිලා ආවේ කියලා හිතෙනවා. කිසිම කෙනෙකුට මේ වනයට එන්න අවසරයක් නැහැ. ඔයි දෙන්න ආවෙ වැරදිලා. ඒ වැරදිලා ආපු නිසා අපේ යුතුකමක් තියෙනව, දෙටුවා මේ ගොල්ලන්ට වහාම මේ වනයෙන් පිටවෙලා යන්න කියල.
මනමේ : වනයේ යන්නත් මෙයාගෙන් අවසර ගන්න ඕනද?
දෙටු : ඒකත් හැබැයි, මේ ගොල්ලන්ගෙ කතාව පේනවද?
වැදි රජු : මොකද්ද?
දෙටු : මේකෙන් යන්න අවසර ඕනෑද කියල අහනවා. (මනමෙට ගහන්න මෙන් පනින බව හඟවයි)
වැදි රජු : හා හා කලබල වෙන්න එපා දෙටුවා
දෙටු : මට කේන්ති ගියොත් මොලේ හාරලා වී ඉහිනව
වැදි රජු : මේ වනාන්තරයට ආපු කිසි කෙනෙක් අපෙන් බේරිලා ගිහින් නෑ
මනමේ : ආ, ඒ වුණාට අපිට බේරිල යන්න පුලුවන්
වැදි රජු : යාය කියල තමයි බය
මනමේ : නොයාය කියල තමයි බය
දෙටු : බය හිතෙන්නෙ තව ටිකකින් පණ යන්න කිට්ටු වුණාම
වැදි රජු (මනමේ රජුටා)
ඉල්ලා මස් ඇරියා මගෙ වැදි කොල්ලෝ අතින් -ඒ
බල්ලා එවුව පසුව ඔලුවෙ ගහලා එවුවා ඉතින්
මෙල්ලා නොව කළ අනුවණ කම් අරවමි සැරෙන් -ජව
කොල්ල බලා ගනු තට වෙන දේ තව මොහොතකින්
මනමේ රජු වැදි රජුට :
වනේ වසන වැදි කොල්ල තියා මුලු දියත සෙන්-විත්
ගෙනේ ඇවිද සිටියත් සුන් කරලමි මෙම කගෙන්
පෙනේද අර වනචර කොල්ලගෙ බහු මිග දෙඩුන් -අද
සැනේකදී ඇරවා ලමි තගෙ මැත දෙඩුන්